උපුල් වික්‍රමසිංහ
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12.5 ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යුහගතකරණයට රජය කටයුතු කරමින් සිටිය ද 2022 අප්‍රේල් සිට එම ණය හා ඊට අදාළ පොලිය නොගෙවීම නිසා එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15 දක්වා වැඩි වී ඇතැයි ද, ඒ අනුව මුළු වාණිජ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 18 දක්වා වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කිරීම නිසා ද්වීපාර්ශ්වීය හා වාණිජ ණයවලට ඩොලර් බිලියන 6.6 ක හිඟ මුදලක් එකතු වී ඇති බව කී ඒ මහතා, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ඒ ගැන කිසිවෙකු කතා නොකරන බව ද සඳහන් කළේය.
ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ යුතු මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 29 ක් බවත්, එයින් ඩොලර් බිලියන 11 ක් ද්වීපාර්ශ්වීය ණය බවත් කී හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා එසේ වුවත් ඉකුත්දා අවසන් කළ ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ප්‍රතිව්‍යුහගතකරණය කර ඇත්තේ ඩොලර් බිලියන 10 ක මුදලක් පමණක් බව ද ඉතිරි ඩොලර් බිලියන 1 ට සිදු කර ඇත්තේ කුමක් ද යන්න අපැහැදිලි බව ද ප්‍රකාශ කළේය.
පසුගියදා අවසන් කළ ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ 2028 දක්වා ණය වාරික ගෙවීමක් සිදු නොවුණ ද එම ණයවලට අදාළ පොලිය ගෙවිය යුතු බවත්, ඒ අනුව වසරකට ඩොලර් මිලියන 500 ක මුදලක් ණය හිමි රටවල් සඳහා ගෙවීමට රජයට සිදුවෙන බවත් ඔහු සඳහන් කළේය.