අලු‍ත් පාර්ලිමේන්තුව 21 දා රැස් වෙයි


සුජිත් හේවාජුලිගේ
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද  කුලරත්න පැවසීය.
පාර්ලිමේන්තුව රැස්වෙන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත් කරගැනීම, මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනීම යනාදී කටයුතු සිදු කෙරේ. මෙදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් මහලේකම්වරිය විසින් දරනු ලැබේ.
පළමු  දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර මන්ත්‍රීවරුන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව උදාකර දෙනු ලබන බව වැඩබලන මහලේකම්වරයා කීය.
සෙංකෝලය සභාගර්භයේ තැන්පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වෙන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනය මහලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්ය ලෙස සභාවට ඉදිරිපත් කරනු ඇත.