අවුරුදු හයකදී කෝටි දාහත්දාහක් මාළු පිටරටින් ගෙනැල්ලා 2019–2023 කාලයේ මත්ස්‍ය නි‌ෂ්පාදනය මෙට්‍රික් ටොන් 121,545කින් පහතට


උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාව අවට සශ්‍රීක මත්ස්‍ය සම්පතක් සහිත මුහුදු කලාපයක් තිබුණ ද 2019 සිට 2024 සැප්තැම්බර් දක්වා ගත වූ අවුරුදු හයක කාලයේ දී මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් 370,185.9 ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැය වී ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 17,441.3 ක් බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි. 

ඒ අනුව, එම කාලයේ දී වසරක දී රටට ගෙන්වා ඇති මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 61,697 කි. 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී පමණක් රුපියල් මිලියන 26,479 ක් වටිනා මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් 42,019 ක ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති අතර අදාළ කාලයේ දී ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,945 කි. එහි වටිනාකම රුපියල් මිලියන 66,031 කි.
අදාළ කාලයේ දී වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ වියළි හාල්මැස්සන් වෙන අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,320 කි. ඊට අමතරව කරවල මෙට්‍රික් ටොන් 5,673.3 ක් ද උම්බලකඩ මෙට්‍රික් ටොන් 1,269.7 ක් ද ටින් මාළු මෙට්‍රික් ටොන් 4,273 ක් ද මාළු මෙට්‍රික් ටොන් 8,696.2 ක් ද වශයෙන් රටට ගෙන්වා තිබේ.
මේ අතර මත්ස්‍ය නිෂ්පාදනය ද සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බව අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව බහුදින හා එක්දින ධීවර යාත්‍රාවලින් සිදු කරන ලද ධීවර කටයුතුවලින් නිෂ්පාදනය කරන ලද මත්ස්‍ය අස්වැන්න 2019 වසරේ දී මෙට්‍රික් ටොන් 415,490 ක් වුවද එම අගය 2023 වෙන විට මෙට්‍රික් ටොන් 293,945 දක්වා මෙට්‍රික් ටොන් 121,545කින් පහත වැටී ඇත.  
බහුදින හා එක්දින ධීවර යාත්‍රා මගින් ධීවර කටයුතුවලින් නිෂ්පාදනය කරන ලද මත්ස්‍ය අස්වැන්න 2020 දී මෙට්‍රික් ටොන් 326,930 ක් ලෙස ද 2021 දී 280,610 ක් ලෙස ද 2023 දී 293,945 ක් ලෙස ද 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේදී 200,740 ක් වශයෙන් ද දැක්වේ.
2023 වසරේදී පමණක් රුපියල් මිලියන 26,734 ක් වටිනා මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් 48,808 ක ප්‍රමාණයක් රටට ගෙන්වා ඇති අතර ඒ අනුව කරවල මෙට්‍රික් ටොන් 6,777.1 ක් ද වියළි හාල්මැස්සන් මෙට්‍රික් ටොන් 22,759 ක් ද උම්බලකඩ මෙට්‍රික් ටොන් 1,714.6 ක් ද ටින් මාළු මෙට්‍රික් ටොන් 7,904.4 ක් ද මාළු මෙට්‍රික් ටොන් 5,983.1 ක් ද ආනයනය කර තිබේ.
දත්තවලට අනුව 2000 සිට ඉහළම මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ 2015 වසරේදීය. එම අගය මෙට්‍රික් ටොන් 120,046 කි. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 30,729 කි (ඩොලර් මිලියන 226.1).