ආදරය වෛරයක් බවට පත්වූ ​ෙඛ්දවාචකය


ආදරය සහ වෛරය අතර ඇත්තේ කෙස් ගසක තරම් පරතරයක් යැයි කියමනක් ඇත.   


සැපතේදී මෙන්ම දුකේදී ද අතහැර නොයන බවට සපත කරමින් යුග දිවි​ ගමන් ඇරඹූ සැමියෙක් අවසානයේ සිය බිරිඳ ඝාතනය කර පෙට්ටියක බහා නිවෙසේ උඩුමහලේ කාමරයක දින දෙකක් සඟවා තබා ගෙන සිට සිරුර සීතලෙන් ගැහෙමින් තිබූ මහ රෑක ජීප් රථයක පටවාගෙන ගොස් මහ මුහුදට විසි කර දමා පළා  ආවේ අාදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගසක තරම් පරතරයක් බව කියන කතාව යථාර්ථයක් බවට පත් කරමිනි.   


බිරිඳ ඝාතනය කර සිරුර මුහුදට විසි කර දැම්​ෙම් යැයි කියමින් ජාඇල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ යුද හමුදා සන්නාහ සන්නද්ධ ස්වේච්ඡා බළකායේ හිටපු කපිතාන්වරයෙකි.   


සිරුර ප්‍රවාහනය කිරීමට හවුල් වූ බව කියන සැකකරුගේ සහෝදරයෙක් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පත්වාගෙන යයි.   


ඝාතනය කර තිබුණේ ගණේමුල්ල බොල්ලත මෝල හන්දියේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ ​දොන් දිල්රුක්ෂි හෙට්ටිආරච්චි (36) නමැති එක් දරු මවකි.   අාදරය නිමේෂයකින් වෛරයකට පෙරළී අවසානයේ බිරිඳ ඝාතනය කර දැමීමට තරම් දුර දිග ගියේ දෙදෙනා අතර පැවැති අඹු සැමි ආරවුලක් නිසාය.   


බිරිඳ ඝාතනය කර මුහුදට විසි කිරීමේ සිද්ධියට හිටපු හමුදා කපිතාන්වරයා පොලිසියට කොටු වීමේ කතාව මෙතැන් සිට මෙසේ පෙළගස්වන්නෙමු.   


මීගමුව, දුන්ගාල්පිටිය, කැපුන්ගොඩ දේවස්ථානයේ සිට මීටර් 300ක පමණ දුරින් මුහුදු වෙරළට කළු පාට ඉටි රෙද්දක් ඔතා ලණුපටකින් ගැට ගසා තිබූ මළසිරුරක් ගොඩ ගසා තිබෙන අයුරු මුලින්ම දැක ඇත්තේ වෙරළට ආ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.   


ඇය මේ බව දුන්ගාල්පිටිය පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරේෂ් චමින්ද රණසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි ගියේ පරීක්ෂණ පැවැත්වීම සඳහාය.   සිරුර කාන්තාවකගේ බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.   සිරුර බෙහෙවින් නරක් වී ද දුගඳ හමමින් තිබුණු අතර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය මරණකාරියගේ අනන්‍යතාව තහවුරු කරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිසිට නියෝග කළාය.   


කළු පැහැති ඉටි රෙද්දකින් සිරුර එතීමට පෙර මදුරු දැලකින් ද ඔතා ඇති බව පොලිසියට සිරුර පරීක්ෂා බැලීමේදී පෙනී ගියේය.   


යට සායක් පමණක් තිබූ අතර තනපට ගැලවී ගොස් තිබෙන බව ද පොලිසියට දැක ගැනීමට ලැබී ඇත.   


හි​ෙස් තුවාලයක් තිබෙන බවත්, එය යම්කිසි මොට ආයුධයකින් පහරදීම නිසා හට ගත් එකක් විය හැකි බවත් පොලිසිය එම තුවාලය පරීක්ෂා කර බලා අනුමාන කළේය. සිරුර සොයා ගත්තේ 18 වැනිදා දහවල් කාලයේ වන අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන තෙක් එය රැගෙන ගියේ මීගමුව රෝහලේ මෘත ශරීරාගාරය වෙතයි.   


මෙම කාන්තාවගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විසින් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කරනු ලැබීය.   


කාන්තා මළසිරුරක් මුහුදු වෙරළේ තබී සොයා ගැනීම සම්බන්ධයෙන් දුන්ගාල්පිටිය පොලිසිය විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කළේ විශේෂ පොලිස් පණිවිඩයක් මගිනි.   ජාඇල පොලිසියට ලැබුණු හෝඩුවාවක් ඔස්සේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ජාඇල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නිවසක් ඉදිරිපිට නතර කර තිබූ ජීප් රථයක් පරීක්ෂාවට ලක් කර තිබේ.   


ජීප් රථයේ ලේ පැල්ලම් කිහිපයක් තැවරී තිබෙන අන්දම පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි විය.   


ජීප් රථයේ අයිතිකරු සම්බන්ධයෙන් නිවැසියන්ගෙන් තොරතුරු විමසා සිටි අවස්ථාවේ එම නිවසේ ඉදිරිපිට කාමරයක ඔහු ලැඟුම් ගෙන සිටින බව පවසා ඇත.  


ඔහු වෙන කවුරුවත් නොව හිටපු යුද හමුදා කපිතාන්වරයාය.   


කළු ඉටි රෙද්දකින් ඔතා මුහුදට විසි කර තිබියදී කැපුන්​ෙගඩ මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ කාන්තා මළසිරුර සොයා ගත් ස්ථානයට නුදුරින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි (පොලිස්පති මාණ්ඩලික නිලධාරී) මහතාගේ මහ ගෙදර පිහිටා ඇත.   මුහුදු වෙරළ සමීපයට ජීප් රථයක් කළුවරේම පැමිණ යමක් මුහුදට විසි කරන අයුරු වෙරළ ආසන්නයේ පදිංචි තරුණයකු දැක ඇත්තේ මහ රෑ ආ ඒ රථය ගැන විපරම් කර බැලීමට ගිය අවස්ථාවේය.   


වාහනය ගැන සැක සිතූ ඔහු එම රථයේ අංකය මතක තබාගෙන නිවසට පැමිණ​ කොළ කැබැල්ලක ලියාගෙන ඇත.   


මුහුදට යමක් විසි කළ රථය ඒ සැණින් ගොස් තිබේ.   


නාඳුනන කාන්තා මළසිරුරක් වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගැනීමෙන් පසු පළා ගිය ජීප් රථයේ අංකය ලියා ගත් තරුණයා කෙළින්ම ගියේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා හමුවීමටය.   


එ් තරුණයා නියෝජ්‍ය පොලිස්පතිවරයා හොඳට දන්නා හඳුනන අයෙකි.   


තමන් මීට දින දෙකකට පමණ ඉහත දී දුටු සියල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ පවසා සැක කටයුතු ජීප් රථයේ අංකය නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී ඇත.   


නියෝජ්‍ය පොලිස්පති ජයකොඩි මහතා මොහොතක්වත් ප්‍රමාද වූයේ නැත.  මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඒ මොහොතේම කතා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා තරුණයා ලියා දුන් ජීප් රථයේ ලියාපදිංචි හිමිකරු කවුදැයි කියා විමසා දැන ගත්තේය.   ජීප් රථයේ ලියාපදිංචි හිමිකරු හා ඔහුගේ ලිපිනය ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක ද සිල්වා මහතාට කතා කර පවසා ඇත.   


ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමට සැකකාර හිටපු කපිතාන්වරයා කොටු කර ගැනීමට හැකි වූයේ ඒ අනුවය. 

 
සැක කටයුතු ජීප් රථයේ අංකය ලියා ගත් තරුණායට මුදල් ත්‍යාගයක් පිරි නැමීමට කටයුතු කරගෙන යන බව පොලිස් මූලස්ථානය කියයි.   


බිරිඳ ඝාතනය කර මුහුදට දැමීමට කපිතාන්වරයාගේ සම්බන්ධයක් ඇති බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී කරුණු අනාවරණය වූ නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශෘන්ත මහතා ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දුන්නේ ගණේමුල්ල පොලිිසිය වෙතය.   


සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ විශේෂ උපෙදෙස් හා මඟපෙන්වීම යටතේය.   


ගණේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රියදර්ශන යන මහත්වරුන් සැකකාර හමුදා කපිතාන්වරයාගෙන් සිද්ධියට අදාළව දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.   


​ෙපාලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර කපිතාන්වරයා මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.   


“මම ජාඇළට ගොස් ගණෙ​ේමුල්ලේ ගෙදරට ආවා. ඒ වෙනකොට වේලාවෙ 16 වැනිදා දහවල් 11.00ට විතර ඇති. පුතා ඉස්කෝලේ ගිහින් හිටියේ. ඔහුගේ වයස අවුරුදු 16ක් වෙනවා. ගෙදර ඇවිත් මම නාන්න සූදානම් වෙද්දී ගෙයි ඇතුළේ කවුදෝ කෙනෙක් හිටියා. ඔහු කවුද කියා විමසා අල්ලන්න යනවාත් එක්කම ඒ මනුස්සයා මාවත් තල්ලු කරගෙන පැනලා දිව්වා. ‘ඒ පැනලා දිව්වේ කවුද’ කියා බිරිඳගෙන් විමසුවාම ඇය මට හොඳටම බැන්නා ‘මගේ දේවල්වලින් උඹට වැඩක් නැහැනේ’ කියා. ඊට පස්සේ බිරිඳ පොල්ලක් අරගෙන ඇවිත් මට ගැහුවා. මමත් ඇයට ඒ පොල්ල උදුරාගෙන ඔළුවට ගැහැව්වා. ඇය බිම ඇදගෙන වැටුණා. බිරිඳ මියගොස් ඇති බව මට තේරුම් ගියා.   


ඊට පස්සේ මොකද කළේ යැයි කියා පොලිස් නිලධාරියෙක් සැකකරුගෙන් විමසූ අවස්ථාවේ ඔහු මෙසේ කියා ඇති බව පැවැසේ.   


“ලොකු තහඩු පෙට්ටියක් ගෙදර තිබුණා. බිරිඳගේ සිරුර ඔසවා ඒ පෙට්ටියට දමා වසා උඩුමහලේ තියන ගබඩා කාමරයකට කර තියාගෙන අරගෙන ගියා. සිරුර බහා තිබූ පෙට්ටිය ඒ ගබඩා කාමරයට දමා දොර ලොක් කළා. මේ විදහට කළේ 16 වැනිදායි. පුතා ඉස්කෝලේ ඇරිලා ආවා. ‘තාත්තේ අම්මා කෝ’ කියා විමසුවා. ‘පුතේ අම්මා මාමලාගේ ගෙදර ගියා, දවස් දෙක තුනකින් එයි’ කියා මා පුතාගේ ඔළුව අතගාමින් පැවැසුවා. බිරිඳගේ සිරුර උඩුමහලේ තියෙද්දී මායි පුතයි පහළ මාලයේ කාමරයක නිදාගත්තා. මට මේ සිද්ධිය මතක් වෙද්දි නින්ද ගියෙත් නැහැ.   


මගේ සහෝදරයක් නුවර ඉන්නවා. එයාට කතා කරලා විස්තරේ කිව්වා. ඔහු අපේ ගෙදර ආවා. 18 වැනිදා රෑ 7.00ට විතර බිරිඳගේ සිරුර බහා තිබූ පෙට්ටිය ඔසවාගෙන ජීප් රථයේ පටවාගෙන දුන්ගාල්පිටිය නැදුන්ගොඩ මුහුදු වෙරළට ගෙනවිත් මුහුදට විසි කරලා යන්න ගියා. මේ වැඩේට මගේ සහෝදරයාත් හවුල් වුණා. මළසිරුර නෙට් එකකින් ඔතා පස්සේ කළු පාට ඉටි රෙද්දකින් ද එතුවා. ලණුවකින් ගැට ගැසුවා. 19 වැනිදා දහවල් බිරිඳගේ සිරුර පොලිසියෙන් හොයා ගත්තා කියා දැන ගැනීමට ලැබුණා. පොලිසියෙන් ඇවිත් මා අත්අඩංගුවට ගත්තා.”


‘බිරිඳ අනියම් ඇසුරක් පවත්වමින් සිටි අයෙක් නිවසේ සිට පැන දිව්වා’ යැයි සැකකරු කියන කතාවේ සත්‍ය අසත්‍යභාවය සොයා ගණේමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ ඒ ප්‍රකාශය කෙරෙහි ඇති වූ සැක සංකා නිසාය.     


බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ගණේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රියදර්ශන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.   


ගණේමුල්ල පොලිසියේ අපරාධ විමර්න අංශයේ පොලිස් සැරයන්වරුන් වන සිසිර (23964), සුනිල් (18200), කොස්තාපල්වරුන් වන බණ්ඩාර (8232), තිලකරත්න (39171) සහ සුගත් (51521) යන මහත්වරු ද මෙම පරීක්ෂණවලට හවුල් වී සිටිති.  


ගම්පහ කොට්ඨාස බාර​ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, මීගමුව කොට්ඨාස බාර පොලිස් අධිකාරී සේනාරත්න ද සිල්වා, සහකාර පොලිස් අධිකාරීවරුන් වන ලලිත් රෝහණ ගමගේ, මහේෂ් බණ්ඩාර සහ සේනාපති ද සිල්වා යන මහත්වරුන්ගේ සහාය ද මෙම පරීක්ෂණ කටයුතු සඳහා ලැබී ඇත.

 

 

 

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය