ඉතිහාසයේ මුල් වරට එක් පක්ෂයකින් පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනයක්


නදීශා අතුකෝරළ
මෙරට දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහ මැතිවරණයකදී වැඩිම කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තුව ලෙස දස වැනි පාර්ලිමේන්තුව ඉතිහාස ගත වෙයි.  ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු මන්ත්‍රීවරියන් 12 දෙනෙකු ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර එය ඉතිහාසගත වන්නේ එක් පක්ෂයකින් එක්වර වැඩිම කාන්තා නියෝජනය ඇති පාර්ලිමේන්තුව ලෙසය. 
මෙවර මහ මැතිවරණයෙන් අගමැතිනි අාචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂකයකු ලබා ගත් වැඩිම මනාප ඡන්ද ගණන ලෙස  මනාප 655,289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දිනාගෙන ඉතිහාස ගත වේ. 


ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  අගමැතිනි අාචාර්ය හරිනි අමරසූරිය, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හේමාලි සුජීවා, ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හසාරා ලියනගේ, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් චන්දිමා හෙට්ටිආරච්චි සහ නිලන්ති කොට්ටහව්චි, ඔෂානි උමන්ගා, මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අම්බිකා සැමුවෙල්,  පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිරුණි විජේසිංහ, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සරෝජා පොල්රාජ්, නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රිෂ්ණන් කලෙච්චි යන මහජන නියෝජිතවරියන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. 
සමගි ජනබලවේගය නියෝජනය කරමින් මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ රෝහිණී කවිරත්න මහත්මිය සහ මහනුවර දිස්ත්‍රික්කය නියෝජන කළ චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය  විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.