ඉන්දීය ධීවරයන් 254 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට


අමිල චින්තක ගමගේ


පසුගියදා ශ්‍රී ලංකා මුහුදේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 25 දෙනා සමග මේ වසරේ ගත වූ මාස හයට ඉන්දීය ධීවරයන් 254 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේය. ඒ අනුව ගත වූ මාස හයට ඉන්දීය බෝට්ටු 28 ක් නාවික හමුදා අත්අඩංගුවට පත්වී ඇත.

ඒ අනුව මෙම බෝට්ටු පොලිසියට සහ ධීවර පරීක්ෂක කාර්යාලයට නීතිමය කටයුතු සඳහා භාරදී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මීට අමතරව 2022 වසරේදී වසරේදී අනවසරයෙන් ලංකා මුහුදට ඇතුළු වූ ධීවරයන් 254 දෙනෙක්ද, බෝට්ටු 36 ක්ද නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. ඒ වසරේ වැඩිම ධීවරයන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙබරවාරි මාසයේදීය. එම ප්‍රමාණය 59කි.
මීට අමතරව 2023 වසරේදී ඉන්දීය ධීවරයන් 240 ක් ද බෝට්ටු 35ක් ද අත්අඩංගුවට ගෙන ඇත. එම වසරේ වැඩිම ධීවරයන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙසැම්බර් මාසයේදීය. එම ප්‍රමාණය 66කි. 
මේ අනුව 2022 වසරේ සිට 2024 ජුනි මාසය දක්වා ඉන්දීය ධීවරයන් හත්සිය දහඅටක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙන බෝට්ටු සංඛ්‍යාව 99කි. මෙයින් බොහෝ පිරිසකගේ නීතිමය කටයුතු අවසන් කර ඇති අතර, තවත් පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.