සුජිත් හේවාජුලිගේ
බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.
සිර දඬුවම් විඳින (අච්චු) පුද්ගලයෝ 66 දෙනෙක් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 265 දෙනෙක් මේ පිරිසට ඇතුළත් වෙති.
ගිය වසර වනවිට බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අසූ පන් දහස් පනස් හයක් බව පැවසූ මහාචාර්යවරයා ඉන් 14952 ක් අපොස උසස් පෙළ සමතුන් බවද ප්‍රකාශ කළේය.
මෙයට අමතරව සෙසු සිරකරුවන් අතර අපොස සාමාන්‍ය පෙළ සමතුන් 44614 දෙනකුද, අටවැනි ශ්‍රේණිය සමත් 64684 දෙනකුද, පහ ශ්‍රේණිය සමත් 34673 දෙනකුද, 1-5 අතර ශ්‍රේණි සමත් 20188 දෙනකුද සිටි බව අතුකෝරළ මහතා කීවේය. තවද පාසල් නොගිය 5370 දෙනකුද මෙම පිරිස අතර සිටින බව හෙළිවී ඇත.
බන්ධනාගාරගතව සිටින පිරිසෙන් වැඩි දෙනෙකු යම් අධ්‍යාපනයක් හෝ සාක්ෂරතාවක් ඇති අය බව මින් පැහැදිලි වන්නේ යැයි පැවසූ වසන්ත අතුකෝරල මහතා මේ තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන ක්‍රමවේදයේ යම් ප්රතිසංස්කරණයක් කළ යුතු බවට තමා යෝජනා කරන්නේ යැයිද සඳහන් කළේය.