ජේ. ඉඳුරුවගේ
සංචාරක කර්මාන්ත කටයුතු සඳහා කල්පිටිය අර්ධද්වීපයේ දූපත් දහයක් බදුගත් ආයෝජක සමාගම් හතකින් වසර ගණනාවකට අදාළ රුපියල් 92,959,827 ක බදු මුදලක් අයකර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
සංචාරක කර්මාන්ත කටයුතු සඳහා නිදහස් ප්‍රදාන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට රජයෙන් ලැබුණු කල්පිටියේ දූපත් 12 ක් අතරින් දූපත් දහයකට අයත් ඉඩම් අක්කර 669 ක් 2010, 2011, 2020 සහ 2022 වර්ෂවල අධිකාරිය මගින් සමාගම් හතකට බදුදී ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ. එම සියලුම බදුකරුවන් විසින් මෙතෙක් මෙහෙයුම් කටයුතු ආරම්භ කර නැති බවත් බදුගැනීම වෙනුවෙන් සංචාරක අධිකාරියට2018 සිට ගෙවිය යුතු බදු මුදල් මෙලෙස ගෙවා නැති බවත් විගණනයෙන් පෙන්වා දෙයි.
දූපත් ගණන ප්‍රමාණවත් නොවීම, ධීවර ප්‍රජාවගේ ගැටලු, යටිතල පහසුකම් සීමා කිරීම සහ අනුමැතිය ප්‍රමාදවීම ආදිය හේතුවෙන් ව්‍යාපෘතිවල ප්‍රගතිය බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය විගණන කාර්යාලය වෙත දුන් පිළිතුරේ සඳහන් වේ.