කුලී පදනමෙන් වාහන ගැනීම නවත්වන්න කැබ්නට් අවධානය


(දේශපාලන ලියුම්කරු)   
අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සඳහා වාහන මිලදී ගැනීම වෙනුවට වාහන කුලී පදනම මත ලබා ගැනීම සඳහා පනවා තිබූ නියෝගය යළි සළකා බැලීමට රජය සූදානම් වෙයි. ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් මේ ගැන පෙන්වා දුන් අතර කුලී පදනම මත වාහන ගැනීමේදී අති විශාල මුදලක් පෞද්ගලික ආයතන වෙත යන බව කී දයාසිරි ජයසේකර ඇමැතිවරයා අවසානයේ වාහනයේ අයිතියවත් රජයට හිමි නොවන බව පැවැසීය. 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේ මෙය ජාතික අපරාධයක් බවය. රවී කරුණානායක මහතා මුදල් ඇමැතිව සිටි සමයේ රාජ්‍ය ආයතන සඳහා වාහන මිලදී ගැනීම වෙනුවට පෞද්ගලික ආයතන තුනකින් වාහන කුලියට ගැනීමේ මෙම තීන්දුව ක්‍රියාත්මක කර තිබිණ.