අමිල චින්තක ගමගේ
අයහපත් කාලගුණය නිසා කොළඹ මහ නගර සීමාවේ පමණක් ගස් 20 ක් මේ ෙවන විට කඩා වැටී ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවාය. මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැති බවද ඇය කීවාය.
මීට මාස කීපයකට පෙර කොළඹ ඩුප්ලිකේෂන් පාරේ ලංගම බස් රථයකට ගසක් කඩා වැටීමෙන් පසු කොළඹ තිබෙන අවදානම් සහිත ගස් 600 ක් පමණ තිබෙන බවට හඳුනාගත් බවත්, ඉන් අනතුරුව පේරාදෙණිය උද්භිද උද්‍යානය සමග සිදු කළ සමීක්ෂණයේදී ඉක්මනින් කපා ඉවත් කළ යුතු අනතුරුදායක ගස් 227 ක් තිබෙන බවට හඳුනා ගත් බවත් ඇය පැවසුවාය.
එම ගස්වලින් 80 ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, දැව සංස්ථාව හා පෞද්ගලික අංශය එක්ව ඉතිරි අනතුරුදායක ගස්ද ඉක්මනින් ඉවත් කරන බවත් භද්‍රානි මහත්මිය පැවසුවාය .
මුලින්ම අනතුරුදායක බවට හඳුනාගත් ගස් 600 අතුරින් 300 ක් පමණ අතු සමබරකර අනතුරුදායක බවින් මුදවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඇය කීවාය. මේ දිනවල වැටී තිබෙන ගස් බොහොමයක් කලින් අනතුරුදායක ලෙස හඳුනාගත් ගස් නොවන බවද එසේ වී තිබෙන්නේ තද සුළං සහ ඇද හැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය නිසා බවද කොළඹ නාගරික කොමසාරිස්තුමිය පැවසුවාය.
ඉතා ඉක්මනින් ම අනතුරුදායක ගස් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය. මේ දිනවල වැස්සට ගස් කඩා වැටීම නිසා මරණ කීපයක්ම වාර්තා වූ අතර, ඒ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ගස්වලට යට වී මිය ගිය ප්‍රමාණය සම්බන්ධව වාර්තාවක් තවම ලැබී නැති බවය.