සුජිත් හේවාජුලිගේ
ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය සහ නාමයෝජනා කැඳවන දිනය සාමාජිකයන් රැස්වී තීරණය කිරීමෙන් පසු නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන කාලවකවානුව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඡන්දදායකයන් අලුතින් ලක්ෂ දෙකක් පමණ වැඩිවනු ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයට අදාළව වාහන සහ නිලධාරි සංගණනය ලබන සතියේ ආරම්භ කරන බව පැවසූ රත්නායක මහතා ඊට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් කටයුතුද ආරම්භ කර ඇති බව සඳහන් කළේය. 2025 ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එය ජූලි අග සහතික කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.
ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දාහක පමණ මුදලක් වෙන්කර ඇති අතර ඊට තවත් මුදල් අවශ්‍ය වුවහොත් රජයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට, පොලිස් දෙපාර්තමේන්තුවට, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට ලිඛිත දැනුම් දීමක් කර ඇත.
රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබාගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම එම ලිඛිත දැනුම් දීම කළ බවද රත්නායක මහතා කීවේය. ලබන ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බව කොමිසම සඳහන් කරයි.