ජලාශවල ජල මට්ටම සීයට අසූවකින් ඉහලට


නිමල කොඩිතුවක්කු


නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්ත්වය වැඩි වී ඇති බැවින් සමස්තයක් ලෙස දිවයින පුරා ජලාශවල ජල මට්ටම සියයට 80 ක පමණ සැලකිය යුතු ඉහළ ධාරිතාවක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දැදුරු ඔය, රාජාංගණය, අංගමුව සහ උඩවලව ඇතුළු ජලාශ කිහිපයක් මේ වන විට වාන් දමමින් තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කරයි.
ජලාශ ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය වර්ධනය වුවහොත් වාන් දොරටු විවෘත කිරීමේ හැකියාව පවතින බැවින් එවැනි තත්ත්වයන් පිළිබඳව අවට ජනතාව සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දෙයි.
මෙයට අමතරව කැලණි, කළු, ගිං, නිල්වලා සහ බෙන්තර ආදී ගංගාවල සහ මහ ඔය, දැදුරුඔය සහ අත්තනගලු‍ ඔය ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී වර්ෂාව තදින් පතිත වුවහොත් මෙම ගංගා සහ ඇළදොළවල ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බැවින් එම ප්‍රදේශවල සිටින ජනතාව පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම වැදගත් බව  වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.
අධික වැසි සහිත තත්ත්වය නිසා දිය පහරවල්, අතුගංගා ආදිය සැඩවිය හැකි බැවින් ඒවායේ ගමන් කිරීමෙන් ඔරු පැදීමෙන් සහ දිය නෑමෙන් වැළකී සිටිය යුතු බවද එස්.පී.සී. සුගීෂ්වර මහතා තවදුරටත් කීවේය.