ජාතික අවම වැටුප වැඩිකිරීම තවම අතරමග


ඉන්දික හේවාවිතාරණ


රුපියල් 16,000ක් ලෙස පවතින ජාතික අවම වැටුප රුපියල් 21,000ක් බවට පත් කිරීමට තීරණය කර වසරක කාලයක් ගත වී ඇතත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවන බව නිදහස් වෙළෙඳකලාප හා පොදු සේවක සංගමය සඳහන් කරයි.

පසුගිය වසරේ ජූලි මාසයේ ජාතික කම්කරු උපදේශක සභාවෙහිදී ජාතික අවම වැටුප රුපියල් 26,000ක් බවට පත් කරන ලෙසට වෘත්තීය සමිති ඉල්ලා සිටි බවද එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩි දුරටත් මෙසේද පැවසීය.
“හාම්පුතුන්  යෝජනා කළේ අවම ජාතික වැටුප රුපියල් 21,000ක් බවට පත් කළ යුතු බවයි. එම මුදල ලබා දීමට පාර්ලිමේන්තුවෙන් තීරණයක් ගත යුතුයි. පාර්ලිමේන්තුවට මෙම යෝජනාව තවමත් ඉදිරිපත් කර නැහැ. මාස 04 කට පෙර ජාතික අවම වැටුප රුපියල් 21,000ක් බවට පත් කිරීමට කැබිනට් මණ්ඩල තීන්දුවක් ගත් බවට ආණ්ඩුව ප්‍රචාරයක් කළා. කැබිනට් මණ්ඩය ගත් තීන්දුව නීතියක් බවට පත් කිරීමට නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතුයි. කඩ සාප්පු ඇතුළු පුද්ගලික අංශයේ අවිධිමත් ක්ෂේත්‍රවල හා ග්‍රාමීය වශයෙන් පවතින ඇඟලු‍ම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයන්ට වසර ගණනාවකින් වැටුප් වැඩි වී නැහැ.
ජාතික අවම වැටුපට සාපේක්ෂව ඊට වඩා වැඩි වැටුපක් ලබා දීමට පුද්ගලික අංශයේ බොහෝ ආයතන කටයුතු කරනවා. මේ නිසා රුපියල් 16,000ක්ව පවතින අවම ජාතික වැටුප රුපියල් 21,000ක් බවට පත් කළ යුතුයි. පාර්ලිමේන්තුව එම තීන්දුව ගත් පසු ජාතික අවම වැටුප නීතියක් බවට පත්වනවා. රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත්වීම සඳහා රුපියල් 68,000ක් අවශ්‍යයි. ඇඟලු‍ම් කර්මාන්ත ශාලා, වෙළෙඳසල් හා සාප්පු ඇතුළු අවධිමත් ක්ෂේත්‍රවල සේවය කරන අතිබහුතරයකට මාසයකට හිමිවන්නේ රුපියල් 25,000 - රුපියල් 30,000 අතර වැටුපක්.
වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් බවට පත් කර තිබෙන නිසා ඔවුන්ට දින 26 ක මාසික වැටුප ලෙස රුපියල් 44,200 ක් ලැබෙනවා. ඔවුන්ට නිවාස පහසුකම් නොමිලේ හිමි වෙනවා. එම නිවාස වතුවල පිහිටා තිබීම නිසා මෙම ප්‍රවාහන වියදමක් නැහැ. පොදුවේ අවිධිමත් ක්ෂේත්‍රයේ සේවය කරන පිරිස් සැලකීමේදී දෛනිකව ප්‍රවාහන වියදමක් හා බොහෝ දෙනෙකුට තාවකාලික නවාතැන්පොළවල කුලී මුදලක් ගෙවා රැඳී සිටීමට සිදුවී තිබෙනවා. මේ නිසා මෙම පිරිස්වලට මාසයකට රුපියල් 50,000ක වැටුපක් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.