තැපැල් පුරප්පාඩු නිසා ලියුම් බෙදීමට බාධා



ඉන්දික හේවාවිතාරණ


ලිපි බෙදන සේවකයන්ගේ හිඟය නිසා ජනාධිපතිවරණයට අදාළ ඡන්ද කාඩ්පත් නිවෙස්වලට බෙදාදෙන කාලයෙහිදී  සාමාන්‍ය රාජකාරි නවතා දමා මැතිවරණයට අදාළ කටයුතු සිදුකරන බව එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

මැතිවරණයට අදාළ ප්‍රමුඛතා සේවා ලිපි පවා බෙදාහැරීමට සිදුවන බවත්, සෑම නිවසකටම නිශ්චිත කාලයක දී ඡන්ද කාඩ්පත් බෙදා දිය යුතු බවත් එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය. ඒ මහතා මෙසේද සඳහන් කළේය. 

“තැපැල් සේවාවෙහි පුරප්පාඩු 7000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.

මෙම පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙසට වසර ගණනාවක සිට බලධාරීන්ගෙන් ඉල්ලීම් කළත් ප්‍රතිචාරයක් නැහැ. ලිපි බෙදාහරින තැපැල්කරුවන් 7888ක් සිටිය යුතුයි. මේ වන විට පුරප්පාඩු 2000ක් පමණ තිබෙනවා. පසුගිය කාලයේදී අනියම් හා ආදේශක වශයෙන් බඳවාගැනීම් සිදුකළත්, මේ වන විට එම කටයුතු පවා නවතා දමා තිබෙනවා.

මැතිවරණයට අදාළ කටයුතු කලට වේලාවට නිසි ලෙස සිදුකළ යුතු නිසා, එම කාලයෙහිදී සාමාන්‍ය සේවා රාජකාරි නවතා දැමීමට සිදුවනවා. තැපැල් සේවාවෙහි සේවකයන් හා නිලධාරීන් 27,000කට අධික ප්‍රමාණයක් සිටිය යුතු වුවත්, මේ ​ෙවනවිට සිටින්නේ නිලධාරීන් හා සේවකයන් 19,000කට ආසන්න ප්‍රමාණයක්. මේ නිසා ගැටලු රැසක් ඇතිවෙලා”