තෙල් සංස්ථාවේ බැංකු ණය ගෙවීමට රජය මැදිහත් වෙයි


අංජුල මහික වීරරත්න


ඛනිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ.
මෙරට ඉන්ධන ප්‍රශ්නය මතුවන්නට පෙර සිටම ඛනිජ තෙල් සංස්ථාවේ ණය බර ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබූ අතර ඉන්ධන ප්‍රශ්නය පැන නැගීමත් සමග එම ණය ශීඝ්‍රයෙන් වර්ධනය වූ බව රජය පවසයි. මෙම අධික ණය බර නිසා පසුගිය සමයේදී රාජ්‍ය බැංකු කඩා වැටීමේ අවදානමක් ද පැවැතිණ. රාජ්‍ය බැංකු ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩසටහන යටතේ එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
මෙම ණයබර සම්බන්ධයෙන් පියවරක් ගැනීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය බැංකු දෙකේ සභාපතිවරුන් සහ මහ බැංකු අධිපතිවරයාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්විණ. මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ආදී සියලු‍ ආයතනවල එකඟතාව මත මෙම කාර්යභාරය සිදුකෙරෙන බව රජය සඳහන් කරයි. ඛනිජ තෙල් සංස්ථාව අදාළ බැංකු දෙකට ඩොලර් මිලියන 450කට ආසන්න ණයක් ගෙවීමට ඇති බවට ගණනය කර තිබේ.