දෙන බෙහෙත්වල ගැටලු නිසා රෝගීන්ගෙන් සියයට විස්සක් නැවත රෝහල්වලට


නිමල කොඩිතුවක්කු


රෝගියාට ලබා දෙන ඖෂධ මගින් ඇතිවන ගැටලු‍ නිසා සියයට විස්සක් හෙවත් පහෙන් එකක පිරිසක් යළි රෝහල්වලට පැමිණෙන බව ගෝලීය දත්ත විමසීමේදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ 
ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

මෙරට රෝහල්වලටත් එවැනිම ආකාරයෙන් රෝගීන් පැමිණෙන බවද ලේකම්වරයා සඳහන් කළේය. රෝහල් ගතවීම අතින්ද ශ්‍රී ලංකාවේ ඉහළ අගයක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මෙම තත්වය දෙස බැලීමේදී රෝගී සුරක්ෂිතතාව ඉතා වැදගත් බැවින් ගුණාත්මක සහතිකයක්  සහ  රෝගී සුරක්ෂිතතාවක්  සඳහා ක්‍රියාත්මක වැඩසටහන් ශක්තිමත් කිරීම අවශ්‍ය බවද ඔහු පැවසීය.
නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සඳහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානයට කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව කීවේය.