ඉන්දික හේවාවිතාරණ
වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
අක්කරයක වගා කටයුතු සිදුකිරීම සඳහා මෙම කන්නයේදී රුපියල් 170,000 - 180,000 අතර මුදලක් වැය වී තිබෙන බව එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. නාඩු වී කිලෝවක ගැනුම් මිල මේ වන විට රුපියල් 100 - 105 අතර පවතී. අක්කරයකින් ආසන්න වශයෙන් මෙවර ලැබී තිබෙන්නේ කිලෝ 1500 ක් හෝ ආසන්න ප්‍රමාණයක් වන බව සභාපතිවරයා පැවසීය.
අක්කරයකින් ලැබෙන අස්වැන්න සම්පූර්ණයෙන්ම අලෙවි කළත් ලැබෙන්නේ රුපියල් 150,000 - රුපියල් 160,000 අතර මුදලක් බව ඔහු සඳහන් කළේය.
කීරි සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 260 ක් වුවද හොඳ තත්ත්වයේ කීරි සම්බා සහල් පාලන මිලට මිලදී ගැනීමට සාමාන්‍ය වෙළෙඳපොළෙහි නොමැති බව හෙතෙම පැවසීය.
යම් පිරිසක් විසින් හොර රහසේ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300 ඉක්ම වූ මිලකටත් ඇතැම් ප්‍රදේශවල රුපියල් 360 කටත් අලෙවි කරන බව අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. කීරි සම්බා සහල් කිලෝවක මිල ඉහළ ගියද මේ කන්නයේදී කීරි සම්බා වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 125කට හෝ රුපියල් 130ක් වැනි මුදලකට වන හෙයින් කීරිසම්බා වී කිලෝවක මිල හා සහල් කිලෝවක් අලෙවි කරන මිල අතර විකෘතියක් ඇති වී තිබෙන බව ඔහු සඳහන් කළේය.
නාඩු වී කිලෝවක් සකස් කිරීම සඳහා මෙවර රුපියල් 115 - 120 අතර මුදලක් වැය වන නිසා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක්වත් හිමි විය යුතු බව ඔහුගේ අදහසයි.