නාමල්ගේ ජනපති සටන 21 දා අනුරපුරෙන් ඇරඹෙයි ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස අග


සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජනාධිපතිවරණ මංගල රැලිය අනුරාධපුරය කඩපනහ ප්‍රදේශයේදී ලබන 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන එම පක්ෂයේ සියලු‍ම නායකයන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස අග හෝ ඉදිරි මුල් දින කිහිපයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය. වෘත්තීය සමිති සංවිධාන හා වාණිජ මණ්ඩලවල නියෝජිතයන් විශාල පිරිසක් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට සිය යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවයි.
ජනාධිපතිවරයාට බිම් මට්ටමින් සහාය දැක්වීමට කටයුතු කළ සියලු‍ම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවද ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහගේ සහායට ගිය නායකයන්ද නැවත පක්ෂය සමග එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය.
මේ අතර පක්ෂ සංවිධාන කටයුතු ගම් මට්ටමින් සහ බිම් මට්ටමින්  දැනටමත් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. මැතිවරණ කටයුතු සංවිධාන කිරීම සඳහා නව ආසන සංවිධායකවරුන් පත් කිරීමටද පක්ෂය පියවර ගෙන ඇත.