සුජිත් හේවාජුලිගේ
සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක ඉහළ නායකත්ව තනතුරු ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණ ප්රතිඵලවලින් පසු එම සටන් උග්ර වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
පක්ෂවල නාම යෝජනා ලබාදීමේ දී විවිධ අසාධාරණකම්වලට මුහුණ දුන්නේ යැයි පැවසෙන ඇතැමුන්ද මෙම කුමන්ත්රණවල පෙරමුණ ගෙන සිටින බව දැනගන්නට ඇත. මේ අතර සමහරුන් ඉහළ නායකත්වය දැඩි ලෙස විවේචනය කිරීමට ද පටන් ගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ගම්පහ දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ගම්පහ ආසන සංවිධායක ධුරය මැතිවරණය ආසන්න වෙත්ම අහිමි කිරීම සහ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට පොරොන්දු ලබා දී ඇයගේ නම නාමයෝජනා පත්රයෙන් ඉවත් කිරීම යනාදී සිද්ධීන්ද නායකත්වය විවේචනය කිරීමට තුඩු දී ඇති සිද්ධීන් කිහිපයක් බව පැවසේ.