පැය අටේ වැඩ මුරය වැඩි කිරීමේ තැත ගැන කම්කරු නිලධාරී විරෝධය


(විනීතා එම්. ගමගේ)
ලෝක සම්මුතිය මෙන්ම ජාත්‍යන්තර නීතිය ද වන පැය අටක සේවා මුරය පැය 9ක සේවා මුරයක් දක්වා ක්‍රමානුකූලව වැඩි කෙරෙමින් පවතින බවට රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.


සෙනසුරාදා දිනය ඉවත් කර දින පහ සේවා සතියට යමින් සිටින ආයතන සෙනසුරාදා දිනයේ පැය පහ වෙනුවට සතියේ අනෙක් දින පහට පැයක් බැගින් එකතු කරමින් සිටින බවත් ඒ අනුව කෑම පැය ද ගත්විට සේවක ප්‍රජාවට දිනකට පැය 10ක් වැඩබිම්වල සිටීමට සිදුව ඇතැයි එම සංගමයේ සභාපති ගමගේ මහතා සඳහන් කළේය.


මෙය පඩිපාලක සභා නීතිය, ජාත්‍යන්තර සම්මුතීන් ද උල්ලංඝනය කරන නමුත් ආයතන කම්කරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්නේ සේවකයින් විසින් කැමැත්ත සඳහන් කරමින් අස්සන් කරන ලද ලිපි වන බැවින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාටද ගත හැකි පියවරක් නැති බව හෙතෙම කියා සිටියේය.