සුජිත් හේවාජුලිගේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත. ඒ නීතිපතිවරයාට ලිපියක් යොමු කරමිනි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව නීතිමය බාධා පවතී නම් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම මෙහි අරමුණ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව කලින් කැඳවූ නාමයෝජනා අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන ඇතිනම් එය කඩිනමින් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන්ද ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
පැරණි නාමයෝජනා ලැයිස්තුව අහෝසි කරන්නේ නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව හරහා පනත් කෙටුම්පතක් සම්මත කරගත යුතු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව කැඳවූ පැරණි නාම යෝජනා ලැයිස්තුව අහෝසි කරන බවට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණයක් ගත්තේය. එම තීරණය රජය මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය සතියේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබීය. ඒ අනුව එම මැතිවරණයට අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත් වූහ.
මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති. පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ ද සිටිති.
නාම යෝජනා දුන් මෙම පිරිසෙන් 8000ක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එසේම අපේක්ෂකයන් 2000කට වැඩි පිරිසක් පසුගිය කාල සීමාවේදී පක්ෂ මාරු කර ඇතැයිද අමාත්‍යාංශයට තොරතුරු අනාවරණය වී ඇත. ඇල්පිටිය හැර සියලු පළාත් පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය.