බදු නොගෙවා සිටීමේ කාලය අවුරුදු 2 ට අඩු වෙයි



නිරෝෂාන් ප්‍රේමරත්න


අවස්ථා 4කදී අභියාචනා ඉදිරිපත් කරමින් බදු නොගෙවා සිටීමට ලබා දී තිබූ වසර 30ක කාලය වසර 2ක් දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පියවර ගෙන තිබේ. 

මේ සඳහා අදාළ කමිටුව විසින් නීතිපති, අධිකරණ අමාත්‍යවරයා, නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට කැඳවා දේශීය ආදායම් පනත සංශෝධනයට ලක් කළ බවත්, නව පනත කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවත් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පැවසීය.

දේශීය ආදායම් පනතේ මෙතෙක් පැවති අභියාචනා ක්‍රමවේදය අනුව අභියාචනා 4ක් ඉදිරිපත් කොට වසර 30ක කාලයක් බදු නොගෙවා සිටීමේ හැකියාව තිබූ බවද, නව ක්‍රමවේදය අනුව අභියාචනා ඉදිරිපත් කළ හැකි අවස්ථා ගණන 2ක් බවද, අදාළ බදු වසර 2කදී ගෙවිය යුතු බවට සංශෝධන ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය. ඒ අනුව අභියාචනා ඉදිරිපත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 950ක් බවද මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.