බ්‍රිතාන්‍ය වමට ප්‍රංශය දකුණට


උපුල් වික්‍රමසිංහ


ඉකුත් ජූලි 4 වැනිදා පැවති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මුළු ආසන 650 න් ආසන 400කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනිමින් කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.
කම්කරු පක්ෂ ආණ්ඩුවක් බලයට පත් වූයේ වසර 14 කට පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව, මහ බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස කම්කරු පක්ෂයේ නායක 
ශ්‍රීමත් කියර් සටාර්මර් දිවුරුම් දීමට නියමිතය.

පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වෙන විට කම්කරු පක්ෂය ආසන 412 ක් ද කොන්සර්වේටිව් පක්ෂය ආසන 120 ක් ද ලබා ගෙන තිබිණ. හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයේ නායක රිෂී සුනාක්ගේ ආණ්ඩුව මෙවර මැතිවරණයෙන් දරුණු පසුබෑමකට ලක් වූ අතර අග්‍රාමාත්‍ය ධුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙමින් කළ ප්‍රකාශයේදී ඔහු සඳහන් කළේ පරාජයේ වගකීම තමන් බාර ගන්නා බවය.
අභිනව අගමැතිවරයා වශයෙන් පත් වෙන කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් සටාර්මර් නීතිඥයකු වන අතර 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී කම්කරු පක්ෂය ලද දැවැන්ත පරාජයෙන් පසු ඔහුට පක්ෂයේ නායකත්වය හිමි විය. හෙතෙම එරට පාර්ලිමේන්තුවට මුලින් ම තේරී පත් වූයේ 2015 දීය. මේ අතර පසුගියදා පැවති ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ සිකුරාදා (05දා) සවස වෙනවිට නිකුත් ව තිබූ ප්‍රතිඵලවලට අනුව, අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වෙන ජාතික රැලි පක්ෂය (National Rally Party) බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබූ අතර දේශපාලන විචාරකයන් අනාවැකි පළ කරන්නේ එම පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බවය.
ඒ අනුව, පළමු වටයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව, ජාතික රැලි පක්ෂයට තුනෙන් එකකට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් (සියයට 33.15 ක්) ද නව ජනප්‍රිය පෙරමුණට (The New Popular Front) සියයට 28.14 ක ඡන්ද ප්‍රතිශතයක් ද ප්‍රංශ ජනාධිපති ඉමෑනුවෙල් මැක්රෝන්ගේ සන්ධානයට සියයට 20.76 ක ඡන්ද ප්‍රතිශතයක් ද ලැබී තිබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ. ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ මීළඟ වටයේ ඡන්ද විමසීම අද (07) දින පැවැත්වීමට නියමිතය.