බාල පොල් තෙල් ගෙන්වීමට ඉඩක් නැහැ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය


කෞශල්‍යා ලක්ෂානි සහ දුලක්ෂි ලියනගේ
ප්‍රමිතියෙන් බාල පොල්තෙල් ආනයනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව ආරක්ෂක අංශයේ වැඩ බලන  අධ්‍යක්ෂිකා වයි. ඩී. එන්. ද සිල්වා ‘ඉරිදා ලංකාදීප’යට පැවසුවාය.
තත්ත්වයෙන් බාල ආනයනික පොල්තෙල් සම්බන්ධව ඉකුත් දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණෙන් අප ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය එසේ සඳහන් කළාය. ඒ අනුව රට පුරා නොයෙක් ආකාරයට පැතිරී තිබෙන කටකතා අසත්‍ය බව පැවසූ ඇය වැඩිදුරටත් සඳහන් කළේ ආනයනය කළ පොල්තෙල් තොග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් පරික්ෂා කර වාර්තා නිකුත් කරන තුරු වරායෙන් රට අභ්‍යන්තරයට ගෙන ඒමට කිසිදු ඉඩක් නොමැති බවයි.

ප්‍රමිතියෙන් බාල පොල්තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ අගෝස්තු මස 31 වෙන විට මෙරටට රසායනිකව පිරිපහදු කළ පොල්තෙල් කිලෝ මිලියන අසූ දාහක් ආනයනය කර තිබෙන බවයි. එහෙත් දේශීය වෙළෙඳපොළෙහි එම තෙල් පිරිපහදු කළ තෙල් නමින් කිසිදු අවස්ථාවක දැක ගත නොහැකි බවත් එලෙස ආනයනය කරන ප්‍රධාන සමාගම් ඔවුන්ගේ දේශීය ස්වාභාවික තෙල් සන්නාම යටතේ ඒවා වෙළෙඳපොළට එක්කරන බවත් ඔහු පවසයි.