මාස අටකදී ලීසිං ආයතන වාහන 5000ක් අත්පත් කරගෙන


ඉන්දික හේවාවිතාරණ
මේ වසරේ ගෙවීගිය මාස අටක කාලයේදී ලීසිං වාරික නිසි ලෙස නොගෙවීමේ චෝදනාව මත වාහන 5000 කට අධික ප්‍රමාණයක් අදාළ ආයතන විසින් අත්පත් කර ගෙන තිබෙන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය වසරේ දී වාහන 10000 කට ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයට අත්පත් කරගෙන තිබෙන බවත්, ලීසිං වාරික ගෙවීමේ පදනම මත වාහන ලබා ගෙන පවතින ආර්ථික අර්බුදය නිසා වාරික ගෙවීමට නොහැකිව සිටින පිරිස් සඳහා සහන ලබා දෙන ලෙසට ගෙවීගිය කාලය පුරාම බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය සඳහන් කළේය. මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතය සියයට නවයක් බවට පත් වී තිබුණත් ඇතැම් ලීසිං ආයතන විසින් ලීසිං ණය වාරික සඳහා තවමත් සියයට 19ත්-22ත් අතර මුදලක් පොලී වශයෙන් අයකර ගනිමින් තිබෙන අතර, පොලී මුදලවත් අඩු කර දීමට කටයුතු කර නොමැති බව හෙතෙම පැවසීය.

මූල්‍ය ආයතන වෙත දේ​ෙපාළ උගස් කර ණය ලබාගත් පිරිස් සඳහා ණය ගෙවීමට අදාළව මේ වසරේ දෙසැම්බර් 15 වැනි දින දක්වා සහන ලබාදීමට රජය මැදිහත් වී කටයුතු කළද මෙම පිරිස් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් තවමත් නොමැති බව හෙතෙම සඳහන් කළේය.
මේ නිසා මෙම වසරේ දෙසැම්බර් 15 වන දිනෙන් පසු දේපළ උගස් කර ණය ලබාගත් පිරිස්වල දේපළ පවා අහිමි විය හැකි බවද රුවන් පොතුපිටිය පවසා සිටියේය.
ණය වාරික තුනක් ගෙවාගැනීමට නොහැකි වුවහොත් වාහනය සීසර්වරුන් බලහත්කාරයෙන් රැගෙන යන බවත්, මේ නිසා ලීසිං වාරික ගෙවන ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.