රැලිවලට ජනතාව ගේන්න අරක්කු දෙන අයට එරෙහිව පියවර - මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය -


ඉන්දික හේවාවිතාරණ
මැතිවරණ රැලිවලට පිරිස් ගෙන්වාගැනීම සඳහා මත්පැන් හා දුම්වැටි විශාල වශයෙන් ලබාදෙන බවට වාර්තා වී ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට අනුවද, අල්ලස් නීතිය යටතේ ද මෙය වරදක් බව එම සංගමයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා සඳහන් කළේය.
එබැවින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද හෙතෙම පැවසීය.

මද්‍යසාර හා දුම්වැටි තොග වශයෙන් රැගෙන විත්  මැතිවරණ රැලිවලට හෝ ප්‍රචාරක කටයුතු සිදුකරන පිරිස් වෙත බෙදා දෙනවා නම් ජනතාවට ද ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කළ හැකි බවත්, මැතිවරණ නීතිරීති යටතේද අල්ලස් වශයෙන් යමක් ලබා දීම වරදක් බවත් ඒ මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මේ පිළිබඳ අප රැස්කර ගන්නා තොරතුරු දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට ලබාදෙනවා. ඕනෑම අයෙකුට මේ පිළිබඳව  තොරතුරු අප වෙත ලබාදිය හැකියි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් තමන් ජනාධිපති වූ පසු මද්‍යසාර හා දුම්වැටි සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රසිද්ධියට පත් කළ යුතුයි”.