මනෝප්රිය ගුණසේකර
ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි එකසිය 184 කට අධික පාඩුවක් කළ බවට දේශපාලනඥයකු මෙන්ම හිටපු මහා බැංකු අධිපතිවරෙයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා එම ධුරයට පත් කිරීමටත් පෙරම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රයට අතසන් තැබීම මත විත්තිකරුවන්ට එරෙහි මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව තීරණය කරමින් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
අධිචෝදනා පත්‍රයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, නීතිඥ චමින්ද අතුකෝරාල සහ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහත්වරුන් මතු කළ මූලික විරෝධතා පිළිගනිමින් විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාර නොදී ඔවුන් නිදහස් කිරීමට මහාධිකරණය විසින් නියම කරන ලදි.
2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි එකසිය 1843 267 595/- ක අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කේ.ජී.ඩී. ධර්මසේන ධීරසිංහ, වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ,
පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ. කරුණාරත්න නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරූ අතර විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, නීතිඥ චමින්ද අතුකෝරාල සහ නීතිඥ හරිගුප්තා රෝහණධීර මහත්වරු මූලික විරෝධතා මතු කරමින් නීතිවිරෝධී අධිචෝදනා පත්‍රයක් මත තම සේවාදායකයන්ට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති හෙයින් අධිචෝදනා පත්‍ර බාර නොදී ඔවුන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.
එම මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධිචෝදනා පත්‍ර බාර නොදීම ඔවුන් නිදහස් කිරීමට තීරණය කළේය.