වාහන බලපත්‍රයට සජබෙ බෙදීමක්


සුජිත් හේවාජුලිගේ


තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂයේ ඇතැම් නායකයන් මන්ත්‍රීවරුන් දිරිමත් කරද්දී තවත් නායකයන් එය ලබා නොගන්නා ලෙසට බල කිරීම හේතුවෙන් එම පක්ෂය තුළ දැඩි මතභේදාත්මක ත්ත්වයක් මතුවී ඇතැයි වාර්තාවේ.
රටේ  දැවැන්ත ආර්ථික අර්බුදයක් මතුවී ජනතාව දුක් විඳින මොහොතක එම වාහන බලපත්‍රය ලබා ගතහොත් සමගි ජන බලවේගයේ ඡන්ද පදනමට දැඩි බලපෑමක් එල්ලවෙනු ඇතැයි වාහන බලපත්‍රය ලබා නොගන්නා ලෙසට මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන එහි නායකයෝ පෙන්වා දෙති.
තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් කර ඇති ඉල්ලීම  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාකච්ඡා කෙරුණු අවස්ථාවේ රටේ ආර්ථික ප්‍රශ්නය උග්‍රවී ඇති මේ මොහොතේදී මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් තරයේ ප්‍රකාශ කර තිබිණ.
කෙසේ  වෙතත් සමගි ජන බලවේගයේ එක් නායකයකු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලීම් කරන ලෙසට මන්ත්‍රීවරුන්ට දැනුම් දෙමින්  කටයුතු කරගෙන යන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
“අපි මේ වෙලාවේ වාහන බලපත්‍රය ලබා ගත්තොත් ජනතාව අතරේ ලොකු අපකීර්තියකට ලක්වෙනවා. අපේ ඡන්ද පදනම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ නිසා අපි මේ වාහන බලපත්‍රය මේ වෙලාවේ  ගන්න හොඳ නැහැ”‍  යැයි  එම වාහන බලපත්‍රය ගැනීමට විරුද්ධ මන්ත්‍රීවරුන්  පිරිසක් පක්ෂ නායකත්වයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.