විදුහල්පති සේවයේ පුරප්පාඩු 3000යි 2019න් පසු තරග විභාග නෑ


ඉන්දික හේවාවිතාරණ
විදුහල්පති සේවයේ මේ ​ෙවන විට පුරප්පාඩු 3000ක් පමණ තිබෙන බවත්, මෙම සේවාවට බඳවා ගැනීමට 2019 වසරින් පසු තරග විභාගයක් පැවැත්වීමට කටයුතු කර නොමැති බවත් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

විදුහල්පති සේවයට බඳවා ගැනීමට අදාළ විභාග පැවැත්වීම ප්‍රමාද කිරීම නිසා විදුහල්පති සේවයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටින ගුරුවරුන් විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවද එම 
සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න මහතා පැවසීය.
පසුගිය කාලයේදී විදුහල්පති සේවයේ ඇති වූ පුරප්පාඩු සඳහා විදුහල්පති සේවයේ වැඩබැලීමේ පදනමින් ගුරුවරුන් 1500ක් පමණ පත් කර සිටින බවත්,  විදුහල්පති සේවාවට බඳවා ගැනීම් සිදුකිරීමේදී වැඩ බැලීමේ පදනමින් සිටින පිරිස් ඉවත් නොකිරීම නිසා 2019 වසරේ පැවැත්වූ විභාගය හා සම්මුඛ පරීක්ෂණවලින් සමත් 500කට ආසන්න පිරිසක් විදුහල්පති සේවයේ ස්ථානගත කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මේ නිසා මෙම පිරිස් ගුරුවරුන් ලෙස තවදුරටත් සේවය කරමින් සිටිති. ඇතැම් පාසල්වල වැඩබලන විදුහල්පතිවරු යටතේ විදුහල්පති තනතුරුවලට සුදුසුකම් ලබා තිබෙන පිරිස් ගුරුවරුන් ලෙස සේවය කරමින් සිටින බවද සභාපතිවරයා පැවසීය.
විදුහල්පති සේවා විභාගය හා සම්මුඛ පරීක්ෂණ සමත් සියලු‍ම දෙනා කඩිනමින් විදුහල්පති සේවාවේ පිහිටුවීමට කටයුතු කළ යුතු බවත්, කඩිනමින් විදුහල්පති සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා තරග විභාගයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
වැඩබලන විදුහල්පතිවරුන්ට පාසල් දියුණු කිරීම සම්බන්ධයෙන් ස්ථිර තීන්දු ගැනීමට නොහැකි හෙයින් මෙම තත්ත්වය පාසල්වල 
දියුණුවට බාධාවක්ව පවතින බවද හෙතෙම පැවසීය.
පවතින පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස හා ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා මේ මස 07 වැනි දින සිට වෘත්තීය 
ක්‍රියා මාර්ග ආරම්භ කරන බවද ඒ මහතා පවසා සිටියේය.