උපුල් වික්‍රමසිංහ
චීනයේ පමණක් නොව වෙනත් ඕනෑම රටකින් පැමිණෙන පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර ලබා දීම සලකා බැලීමට හා ඊට අදාළව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් අලුත් කමිටුවක් පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පසුගිය 18 වැනිදා ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් නව මෙහෙයුම් පිළිබඳ පිළිවෙතක් (Standards Operating of Procedures - SOPs) සකස් කරන බවත් ඒ අනුව මෙරට මුහුදු තීරයට ඇතුළු වීමට අවසර ඉල්ලන විදේශ පර්යේෂණ නෞකා සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.
එම ක්‍රියාවලිය මේ වසර අවසානයේදී ආරම්භ කළ හැකි බව ද ඔහු විශ්වාසය පළ කළේය. යුආන් වන්ග් 5 සහ තවත් චීන පර්‌යේෂණ නෞකාවකට මෙරට මුහුදු තීරයට ඇතුළු වීම සඳහා ඉඩ ලබා දීමට පසුගිය ආණ්ඩුව ගත් තීරණයට ඇමෙරිකාව සහ ඉන්දියාව ආදී රටවලින් එල්ල වූ විරෝධතා මධ්‍යයේ එම ආණ්ඩුව සියලු විදේශ පර්යේෂණ නෞකාවලට මෙරට මුහුදු තීරයට ඇතුළු වීම තහනම් කරමින් වසරක කාලයක තහනමක් පැනවීය. එය මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතය.