විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට පක්ෂ තුනක්’ කැමතියි


උපුල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන පක්ෂවලින් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් ජයග්‍රහණය කළහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඔවුන් සූදානම් බව එම පක්ෂ කියයි.

ඉකුත් 28 වැනිදා තරුණ නීති වෘත්තිකයන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තරග වදින බව පවසන කිසිදු අපේක්ෂකයෙකු විධායක ජනාධිපති ධුරය සතු විධායක බලතල අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නැති බවය. අප ඒ සම්බන්ධයෙන් එම පක්ෂවල නියෝජිතයන්ගෙන් කළ විමසීමේදී ඔවුහු මේ බව පැවසූහ. 
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව එකඟතාවකට පැමිණ ඇති බවත්, පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එය ඇතුළත් කරන බවත්ය.
“විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන එකඟතාවකට ඇවිත් තියෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සෙ අලුත් ජනමතයකින් පත්වෙන පාර්ලිමේන්තුවත් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න වෙනවා. එහෙම කරන්න අපිට කිසි ගැටලුවක් නෑ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අපි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළු කරනවා” රාජකරුණා මන්ත්‍රීවරයා කීවේය.
අප මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ සාමාජික නීතිඥ සුනිල් වටගල මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මේ වෙන විටත් ප්‍රකාශ කර ඇති බවය.
“අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුක්‍රමයක් ගේන බව අපි ප්‍රකාශ කරලා තියෙනවා. කලින් මැතිවරණයට ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රතිසංස්කරණය කරලා අලුත් ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරමින් යනවා. ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ ඒක එළිදක්වනවා.” වටගල මහතා පැවසීය.
අප මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ, 1994 දී පැවති එජාප කතරගම සම්මේලනයේදී, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පක්ෂය අනුමැතිය ලබා දී ඇති බවත්, එම ස්ථාවරය වෙනස් කර නැති බවත්ය. “1994 කතරගම සම්මේලනයේදී අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟතාව පළ කරලා තියෙනවා. ඒ ස්ථාවරය වෙනස් වෙලා නෑ.” මහලේකම්වරයා කීවේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මැතිවරණ ප්‍රතිඥාවක් ලෙස එළැඹෙන ජනාධිපතිවරණයේ දී එජාප මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ ද යන්න ගැන විමසූ විට ඒ මහතා කීවේ, ඒ ගැන දැන්ම කිසිවක් කිව නොහැකි බවත්, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය 
සකස් කරන අවස්ථාවේ ඒ ගැන 
කිව හැකි බවත්ය.
රුපියල් කෝටි....