විශේෂඥ වෛද්‍ය හිගයෙන් රෝහල් කටයුතු අඩාලයි හිගය දෙදාහට වැඩියි


සුජිත් හේවාජුලිගේ


විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍රවීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රෝහල් බලධාරීහු පෙන්වා දෙති.
රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 
2000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය. සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන් දැනට සිටින්නේ 2150ක් 
පමණක් බවද එම ආරංචි මාර්ග කීවේය.

සෞඛ්‍ය සේවයට අනුමත කෙරුණු විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 4000කි.
ශල්‍ය වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රුධිර පාරවිලයන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් අවශ්‍ය සංඛ්‍යාව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 
මෙම අංශවල වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශයන්ට ගොස්  ඇති හෙයින් මෙම හිඟය මතුව ඇතැයිද සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති. විදේශයන්ට යන විශේෂඥ වෛද්‍යවරුන් නැවත නොඑන බවත්, එම පිරිස්  මෙරට රඳවා ගැනීමට කිසිදු විධිමත් වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවත් එම නිලධාරීහු ප්‍රකාශ කර සිටිති.
විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් ගොස් ඇතැයි පැවසෙන්නේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවලටය. ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම ඇතුළු ආර්ථික ගැටලු‍ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශගතවීමේ ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ කරුණු සොයා බැලීමකදී පෙනී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය බරපතළ  ලෙස පවතින නමුත් රෝහල්වල ප්‍රතිකාර සේවා කටයුතු සුදුසු පරිදි  කළමනාකරණය කරගනිමින් පවත්වාගෙන යන බවයි.