ශ්‍රී ලංකන් එයාර් ලයින් ටෙන්ඩර් පටිපාටිය අවලංගුයි


උපුල් වික්‍රමසිංහ
ශ්‍රීලංකන් එයාර්ලයින් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ආරම්භ කර තිබෙන ටෙන්ඩර් පටිපාටිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ඒකකය නිවේදනය කරයි.
පසුගිය 18 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන එම ඒකකය, ඉකුත් 09 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදාළ තීරණය ගත් බව ද, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද කාලරාමුව අනුව යමින් ශ්‍රීලංකන් ගුවන් සේවය පැවරීම සඳහා ශ්‍රී ලංකා රජය විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කරන බව ද සඳහන් කරයි.

පාඩු ලබන ශ්‍රීලංකන් එයාර්ලයින් ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා ආයතන 6 ක් කැමැත්ත පළ කර තිබූ අතර ශ්‍රී ලංකා රජය පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කළේ ඉන් ආයතන තුනක් තෝරාගෙන තිබූ බවය. මේ අවලංගු කිරීම පිළිබඳ විමසීමට අප වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.