උපුල් වික්‍රමසිංහ
සාම්පූර් සූර්ය විදුලි බලාගාරය, ත්‍රිකුණාමලය නගර සංවර්ධනය, කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම ඇතුළු ඉන්දීය රජයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට ඉකුත් 20 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ මූලිකත්වයෙන් පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය 20 වැනිදා එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වුණු නිල හමුවෙන් පසු මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණ.
අදාළ මාධ්‍ය නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ සාම්පූර් සූර්ය බලාගාරයෙහි ඉදි කිරීම් කටයුතු මේ වසරේ ජූලි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, බලශක්ති සම්බන්ධතාව, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සංවර්ධනය, ස්වාභාවික ධ්‍රැවීකෘත වායු (LNG) සැපයුම, දෙරට අතර ඉදිකිරීමට යෝජිත ඛනිජ තෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු වූ බවත්ය.
යාපනය ගුවන්තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය යන ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති කඩිනම් කිරීම ගැන ද එහිදී සාකච්ඡා කෙරැණු බව ජනාධිපති මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වේ.