ඉන්දික හේවාවිතාරණ
සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය මේ මස 30 වැනි දින පැවැත්වීමට නියමිතව තිබියදී උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළට මේ මස 26 වැනි දින සිට 30 දක්වා සංවර්ධන නිලධාරීන් යොදා ගැනීමට නියමිතව තිබෙන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය සඳහන් කරයි.
පත්වීම ස්ථිර කර ගැනීමට, ශ්‍රේණි උසස් වීම් ලබාගැනීමට හා වැටුප් වර්ධක ලබා ගැනීමට නම් සංවර්ධන නිලධාරීන් මෙම විභාගය සමත් විය යුතු බවත්, ඒ සඳහා ඔවුන් සුදානම් විය යුතු බවත් එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
මේ නිසා උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමට අදාළව මේ මස 26 වැනි දින සිට 30 වැනි දින දක්වා පැවැත්වෙන ප්‍රජාව දැනුම්වත් කිරීමේ ජංගම වැඩසටහන්වලින් සංවර්ධන නිලධාරීන් නිදහස් කරන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.
මෙම වැඩපිළිවෙළ ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු වුව ද කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වෙන්නේ යම් කාලයකට වරක් බවත්, මෙවර පැවැත්වෙන විභාගයෙහි අයැදුම් පත් භාරගැනීම අවසන් කරනු ලැබුවේ පසුගිය මස 17 වැනි දින බවත්, ඉන් පසුව විභාගය මේ මස 30 පැවැත්වීමට තීරණය කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
විභාගයට සුදානම් වීම සඳහා සංවර්ධන නිලධාරීන්ට හිමිව තිබෙන්නේ ඉතාමත් කෙටිකාලයක් බවත්, සංවර්ධන නිලධාරීන් උරුමය සින්නකර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් නම් ජූලි 01 වැනි දින සිට උරුමය ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය. උරුමය සින්නක් කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් කාර්යාලය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යනාදී ආයතනවල සේවය කරන නිලධාරීන් යොදවා ගැනීමට රජය තීරණය කර තිබෙන බව ද චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
සංවර්ධන නිලධාරි සේවාවේ පළමු, දෙවැනි හා තුන්වැනි ශ්‍රේණිවලට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා පනස් තුන්දහසකට අධික පිරිසක් පෙනී සිටීමට නියමිතව තිබෙන බවත්, කාර්යක්ෂමතා කඩඉම් විභාග නිසි ලෙස නොපැවැත්වීම නිසා 2013 වසරේදී සංවර්ධන නිලධාරි සේවාවට බඳවාගත් සමහර පිරිස්වලට තවමත් පත්වීම් ස්ථිර කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම පැවසීය.