නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ලබා දෙන බව එහි නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
6-36% දක්වා ඇති බදු සූත්‍රය 1-24% දක්වා අඩු කර ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගෙන අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවට වාසිවෙන ලෙස සංශෝධනය කිරීමට ඉදිරියේ දී නිර්මාණය වෙන ආණ්ඩුව යටතේ කටයුතු කරන බවත් ඔහු පැවසීය.
අයි.එම්.එෆ්. අනුව 2033 සිට ණය ගෙවිය හැකි වුවත්, හිටපු ජනාධිපති හා ආණ්ඩුව 2028 සිට ණය ගෙවීමට ගිවිසුම් අත්සන් කර අවසන් බවත් මෙම තත්ත්වය වෙනස් විය යුතු බවත් සමගිජන සන්ධානයේ නායකයා අවධාරණය කළේය.