සමගි ජන සන්ධානය අගෝස්තු මුල


  • - සජබ සභාපති ධුරයට ඉමිටියාස්

නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එළි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු සියලුම මැතිවරණ එම සන්ධානය යටතේ තරග කරන බව මහලේකම්වරයා සඳහන් කළේය. 

නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමඟ අභ්‍යන්තර සාකච්ඡා අවසන් අදියරේ සිදු කරමින් පවතින බවද ඔහු කීවේය.
සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත්  මන්ත්‍රීවරැන් 10 කට අධික පිරිසක් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බව මහලේකම්වරයා කීවේය.නව සන්ධානයේ වැඩ පිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී රටට එළි දක්වන බවද ඔහු තවදුරටත් පැවසීය.
මේ අතර සමගි ජනබලවේගයේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පත්කිරීමට තීරණය කර තිබේ.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට මේ වනවිට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් මෙම පත්කිරීම සිදුකරන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව ඉදිරි දින කිහිපයෙහිදී සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කොට පක්ෂ සම්මේලනයක් කැඳවා මෙම නව පත්කිරීම සිදුකරන බව ඔහු කීවේය.මේ සතියෙහි පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රුස්කර අවශ්‍ය අනුමැතීන් ලබාගන්නා බවද එම ප්‍රකාශකයා පැවසීය.මෙයට සමගාමීව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.