සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති එන සතියේ


නිමල කොඩිතුවක්කු
“රට ගොඩනගන මග”‍ මැයෙන් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සතියෙහි එළිදක්වන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසීය. ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර 27 ක් ආවරණය වෙන පරිදි මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
ඒ ඒ ක්ෂේත්‍රවල අදාළ ප්‍රවීණයන් හා විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බවත් ප.ම. තිස්ස අත්තනායක කීවේය.

රට බංකොලොත් බවෙන් මුදවාගෙන ආර්ථිකයේ ශීඝ්‍ර දියුණුවක් ළඟා කර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වෙන ප්‍රධාන රැළි 100ක් දිවයින පුරා සංවිධානය කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙයට අමතරව මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම් 400ක් සහ ඡන්ද පොළ මට්ටමේ කුඩා රැස්වීම් 12000කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇති බවද ඔහු තවදුරටත් කීවේය.