හමුදාවට පොලිසියට ගෙවූ වැටුප් සෙසු සියලු සේවක වැටුප්වලට වඩා වැඩියි


සුජිත් හේවාජුලිගේ


පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු‍ සේවකයන්ට වැටුප්  ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේයැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

මධ්‍යම ආණ්ඩුවේ සෙසු අංශවල සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් සඳහා රුපියල් කෝටි 32,729 ක් වැය කරද්දී ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් එම වර්ෂයේදී රුපියල් කෝටි 31,200ක් වැය කර ඇති බවද මහාචාර්යවරයා කීවේය.
එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ට පසුගිය වසරේ වැටුප් ගෙවීමට වැය කළ මුදල පළාත් පාලන ආයතනවල සියලු‍ම  සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා එම වසරේදී වැය කළ මුදලට වඩා වැඩි බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ආයතන සේවකයන්ට පසුගිය වසරේදී වැටුප්  ගෙවීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 30,021 ක් බවද වසන්ත අතුකෝරළ මහතා කීය.
හමුදා සහ පොලිස් සාමාජිකයන්ට පසුගිය වසරේදී ගෙවූ වැටුප රාජ්‍ය සේවයේ වැටුප්වලින් සියයට තිස්තුනක් බව පැවසූ මහාචාර්යවරයා පසුගිය වසර පහේ දී ආරක්ෂක අංශවල වැටුප් ගෙවීමට වැය කරන මුදල සියයට දාහතකින් වැඩි වී ඇතැයිද සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 21,787 ක්ද, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9,413ක්ද වැය කර ඇති බවත්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ වැටුප් ගෙවීම සඳහා මෙපමණ මුදලක් දරද්දී රජයේ ආයතනවල ආරක්‍ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන වෙනම වැටුප් ගෙවා ඇති බවත් අතුකෝරළ මහතා සඳහන් කළේය.