හිටපු ඇමතිවරුන් 66 වාරයක් ගුවනින් ගිහින් වියදම රජයෙන්


සුජිත් හේවාජුලිගේ
හිටපු ඇමැතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි. සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම ඇමැතිවරුන් වෙනුවෙන් වෙන්කරනු ලැබ තිබූ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 66කි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර ගුවන් ගමන් වාර දහයක්ද හිටපු අමාත්‍ය දයා ගමගේ ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය රවී කරුණානායක ගුවන් ගමන් වාර හයක්ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ගුවන් ගමන් වාරයක්ද  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය සාගල රත්නායක ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය අමාත්‍ය එම්. එච්. එම්. හලීම් ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය අජිත් නිවාඩ්  කබ්රාල් ගුවන් ගමන් වාර දෙකක්ද හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ගුවන් ගමන් වාරයක්ද  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ගුවන් ගමන් වාර හයක්ද හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගුවන් ගමන් වාර විසි පහක්ද හිටපු අමාත්‍ය අලිසබ්‍රි ගුවන් ගමන් වාර දෙකක්ද වශයෙන් ගුවන් ගමන් වාර හැට හයක්  මෙසේ යොදාගෙන තිබූ  ගුවන් හමුදාව  ප්‍රකාශ කරයි.
මෙම ඇමැතිවරුන් සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා මෙලෙස යොදාගෙන තිබුණේ 2019 වසරේ සිට 2020 දක්වා කාලයේදීය.
මෙම ගුවන් ගමන් බොහොමයකට මුදල් වැය කර ඇතැයි පැවසෙන්නේ රජයෙනි.
මෙම තොරතුරු සඳහන් වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලැබුණු තොරතුරු වාර්තාවකය.
මේ අතර 2019 වසරෙන් පසු ගුවන් හමුදාවට වයි 12 ගුවන් යානා දෙකක් මිලදී ගෙන තිබූ බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
මේ අතර රාජ්‍ය ආයතන දහයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක්  අයකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය විය. එම ආයතන 2003 වසරේ සිට ගුවන් සේවා ලබාගෙන ඇත.