ඉන්දික හේවාවිතාරණ
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙක්ටයාර් 16,000ක පමණ එළවළු හා පලතුරු වගාවලට හානි සිදු තිබෙන බව ජාතික ගොවිජන එකමතුව සඳහන් කරයි. කැරට්, බෝංචි, ගෝවා, මාලු මිරිස්, වම්බටු, කරවිල, වැටකොලු, තක්කාලි, පතෝල හා වට්ටක්කා යනාදී වගාවන්ට විශාල වශයෙන් හානි සිදුව තිබෙන බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.
කෙසෙල්, කොමඩු සහ ගස් ලබු ඇතුළු පලතුරු වගාවන්ට සැලකිය යුතු හානියක් සිදුව ඇතත් මෙම කිසිදු වගාවකට රජයේ වන්දි මුදල් නොලැබෙන බව හෙතෙම පැවසීය.
රජයේ වන්දි මුදල් හිමිවන්නේ වී හා මිරිස් ඇතුළු භෝග වගා හයකට පමණක් නිසා රට තුළ වැඩි වශයෙන් වගා කරන එළවළු හා පලතුරු වගා සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරන ලෙස වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා සඳහන් කළේය.
මෙවර සිදුව තිබෙන හානි සඳහා කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන වන්දි ලබා දීමේ නව ක්‍රමයක් සකස් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා පැවසීය.
දැනට රජය විසින් වන්දි ලබා දෙන භෝග වර්ග හයට අදාළ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසා සිටියේය. අදාළ භෝගවලට ලබා දෙන වන්දි මුදල තීරණය කර තිබෙන්නේ මීට වසර හතකට පමණ පෙරය. මේ වන විට වගා සඳහා පිරිවැය තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.මෙවර වගාකන්නයේදී ආසන්න වශයෙන් හෙක්ටයාර 56,000කට ආසන්න ප්‍රමාණයක එළවළු හා පලතුරු වගා කර තිබෙන අතර ඉන් හෙක්ටයාර් දහසය දහසක පමණ ප්‍රමාණයකට හනි සිදුව තිබෙන බව ඔහු සඳහන් කළේය.