හෙට සිට පාසල්වල වර්ජන



ඉන්දික හේවාවිතාරණ 


 

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (24දා) සිට 26 වැනි දින දක්වා පාසල් මූලික කර ගනිමින් වැඩවර්ජන ක්‍රියා මාර්ග දෙකක්  හා විරෝධතා ව්‍යාපාර සිදුකිරීමට වෘත්තිය සමිති තීරණය කර තිබේ.

මේ අනුව අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන හා අනධ්‍යයන සේවකයන් හෙට (24දා) හා අනිද්දා (25දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

හෙට දිස්ත්‍රික්ක 05 ක් මූලික කර ගනිමින් ස්ථාන 05 කදීත් 25 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයෙහිදීත් විරෝධතා ව්‍යාපාර පැවැත් වීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.

හෙට සහ අනිද්දා අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වුවද රාත්‍රී කාලයේදී පාසල්වල මුරකරුවන් රාජකාරි සිදුකරනු ඇත. දහවල් කාලයේදී මුරකරුවන් සේවයෙන් ඉවත්වන බවත්, පාසල් නේවාසිකාගාර කටයුතු මෙම දින දෙකෙහිදීද සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන බවත් හෙතෙම පවසා සිටියේය.

ගැටලු‍වලට  විසඳුම් ලබාදීම ප්‍රමාද  කළ හොත් දෙවැනි ක්‍රියා මාර්ගයේදී පාසල් නේවාසිකාගාර කටයුතුවලින් හා රාත්‍රී මුර සේවයෙන්ද ඉවත්වෙන බව ඒ මහතා පැවසීය.

ගැටලු‍වලට විසඳුම් ලැබෙන තෙක් සතියකට දින දෙක බැගින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකිරීමට සැලසුම් කර ඇත. අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීම පිළිබඳ මේ වෙන විට අවස්ථා ගණනාවකදී බලධාරීන් සමග සාකච්ඡා කළද එම සාකච්ඡා අසාර්ථක වී තිබෙන බව ලේකම්වරයා කියා සිටියේය.

ගුරු  විදුහල්පතිවරුන්ට ඇති වී තිබූ  වැටුප් විෂමතා විසඳීම යටතේ මෙතෙක් ලබා දී නොමැති කොටස් දෙක ලබාදීම, පාසල් උපකරණ මිල අඩු කිරීම හා පාසල් නඩත්තුවට නිසි ලෙස මුදල් ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 26 වැනි දින සේවයෙන් ඉවත්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

26 වැනි දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්වන බවත්, එදින රට පුරා සිටින ගුරු විදුහල්පතිවරුන් කොළඹට රැස්වී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වීමට කටයුතු කරන බවත් එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.