පොලිස් පොතෙන්
“උඹ දන්නවද මට ඕනෑ වෙලා තිබුණේ උඹත් එක්ක ටිකක් ආතල් එකක් ගන්නයි. මුදල් ලබා ගන්නයි. උඹ බොරුවට අඬලා වැඩක් නෑ, උඔවගේ මෝඩ කෙල්ලන්ගේ පොටෝ මා ළඟ ජී බී අටක් තියෙනවා .” “ඒකෙන් උඹ එකක් විතරයි. ඒ නිසා මගේ කැමැත්තට ඉඩ දීපං, නැත්තං උඹට වෙන්නෙත් අන්තර්ජාලයේ නිරුවතින් සැරිසරලා උඹේ අතින්ම ජීවිතේ නැති කරගන්න.”
තවමත් අධ්‍යාපන ලබන වයසේ පසුවන දියණියකගේ මුවින් මෙම වදන් පෙළ කියැවී මෙන් පසු දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ පොලිස් පොතේ සටහන් විය.
අප ඉහත දැක්වූයේ තවමත් පාසල් වියේ පසුවූ තරුණියකට අන්තර්ජාල ඉගැන්වීම් හරහා ඇතිකරගත් පෙම්වතාගෙන් ලැබුණු දුරකථන ඇමතුම් දහස් ගණනකින් එක කොටසකි.
දිවයින පුරා වීවිධ ප්‍රදේශවල සිටින පාසල් සිසුවියන් සමග ඉතා සූක්ෂම ලෙස ආදර සබඳකම් පවත්වා ඔවුන් රවටා රහසිගත ස්ථාන වලට ගොස් ජංගම දුරකථනය උපයෝගී කරගෙන ඔවුන් සිප ගනිමින් ඔවුන්ගේ විවිධ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප අන්තර්ජාලයට එක් කරන බවට තර්ජනය කිරීම් සහ දෙමව්පියන් බිය ගන්වා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් සිදුකරගෙන යන අයකු ඉහත ප්‍රකාශය අනුව කොටුකරගැනීමට දඹුල්ල පොලිසියට පසුගිය සතියේ හැකිවිය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තරුණයකු බව දඹුල්ල පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ තරුණියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉතා සූක්ෂම ලෙස ඔහු රවටා පැමිණෙන ලෙස දන්වා වෙස්වලාගත් පොලිස් කණ්ඩායමක් විසින් දඹුල්ල කැකිරාව බස් නැවතුම්පොළ අසලදී මෙම තරුණයා අත්අඩංගුවට ගත්තේය.
මෙම තරුණයා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් මිතුරු කරගෙන ඇත්තේ ජංගම දුරකථන, මුහුණු පොත, සහ උපකාරක පංති මෙන්ම මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලියේදී බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මෙම තරුණයා දඹුල්ල ප්‍රදේශයේ තරුණිය සමග මිතුරු වී අවස්ථා දෙකකදී ඇය සමග කතාබහ කිරීම සඳහා බව පවසමින් පාළු ස්ථානවලට රැගෙන ගොස් ඇය රවටා ඔහු සමඟ සමීපව සිටින ඡායාරූප ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරන බවත් එසේ මුදා හැරීම නවතා ගැනීම සඳහා රුපියල් 45,000 ක මුදලක් ඉල්ලා සිටි බවත් තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබුණු බව පොලීසිය කියයි.
මෙම තරුණයා කොටු කර ගැනීම සඳහා දඹුල්ල පොලීසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.එම්. සුනිල් කරුණාතිලක මහතා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලුකා විජේසුන්දර සමඟ සාකච්ඡා කළේය.
තරුණිය සිය මව සමග පොලිසියට කැඳවා අදාළ තරුණයාට ඇමතුමක් ලබා දී කියා සිටියේ මුදල් ලබාදීමට හැකි බවත් තමන් ළඟ ඇති ඡායාරූප සියල්ල දුරකථනයෙන් මකා දමන ලෙසත්ය.
දිවයිනේ බොහෝ තරුණියන් රවටා මුදල් ලබා ගත් තරුණයා මේ කිසිවක් නොදැන පොලිස් උගුලේ පැටලෙන්නට එතරම් කාලයක් ගත නොවීය. ඒ අනුව දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා ගනිමින් තරුණිය මගින් ඔහු ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ සිට දඹුල්ල බස් නැවතුම්පොළ වෙත ගෙන්වා ගැනීම සඳහා පොලිසිය කටයුතු යෙදුවේය.
රුපියල් 45,000 ක මුදල වෙනුවට මාංචු කුට්ටම් කිහිපයක් සාක්කුවට දමාගත් පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම පොලිස් පරීක්ෂිකා නිලූකා විජේසුන්දර, පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක යන පිරිස බස් මගීන් ලෙස වෙස් වළාගෙන බස් නැවතුම්පොළේ රැඳී සිටියහ.
දඹුල්ල පොලිසියේ බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු යාපනයට ගමන් කරන දමිළ මගින් ලෙසත් තවත් අයෙකු මඩකළපුව ප්‍රදේශයට ගමන් කිරීම සඳහා සූදානම්ව සිටි මුස්ලිම් ජාතික මගියෙකු ලෙසත් සැරැසී කැකිරාව බස් නැවතුම්පොළේ උකුසු ඇස් යොමා සිටියේ පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණිය දෙසය.
බස් රථයේ ආ මෙම අනංගයා වරින්වර තරුණියට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔහු සිටින ඉසව්ව ගැන ප්‍රකාශ කළේය. දඹුල්ල නගරයෙන් බස් රථයෙන් බැසගත් තරුණයා බස් නැවතුම්පොළට පැමිණෙන්නේ ජංගම දුරකථනයෙන් තරුණිය සමග සම්බන්ධ වෙමිනි.
“මේ දවස්වල බස් නෑ. ටිකක් පරක්කු වුණා, ඔයා තනියමද ආවෙ.”
“තනියම ආවේ”
“හැබැයි බොරු නං කියලා අහුවෙන්න එපා”
“පිස්සුද හලෝ බොරු කියන්න”
“හරි අපි කොහාට හරි ගිහිල්ලා මොනවා හරි බීලා කතා කරමු”
“මට කන්න බොන්න ඕනැ නෑ. තමුසේ සල්ලි අරගෙන මගේ ෆොටෝ ටික මකලා දානවා”
“හරි හරි කලබල වෙන්න එපා වැඩේ කරමු. මෙතන මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ත්‍රීවීල් එකක කොහාට හරි ගිහිල්ලා මේ වැඩේ කරමු.”
මෙම දෙපලට කතා කරන්නට හැකි වූයේ එපමණකි, වහා ක්‍රියාත්මක වූ වෙස් වලාගෙන සිටි පොලිස් නිලධාරීහු තරුණයාගේ දෑතට මාංචු දමා දඹුල්ල පොලිසියට රැගෙන ආහ.
වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා තරුණයාගේ ජංගම දුරකථනය ගෙන පරීක්ෂාකර කර බැලීමේදී තවත් කාන්තාවන් හා තරුණියන් රැසකගේ ඡායාරූප එහි අන්තර්ගතව තිබී සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා මෙම තරුණයාගේ දෙමව්පියන් දඹුල්ල පොලිසියට කැඳවීය.
පොලිසිය හමුවේ හඬා වැටුණු මෙම තරුණයාගේ මව කියා සිටියේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ තමන් ඇතුළු පවුලේ අය ජීවත් වන බවය. මෙම දරුවා ශරීර ලක්ෂණ වලින් ඉතා ප්‍රියමනාප නිසා ඕනෑම තරුණියක වසඟයට පත්වන බවත් ඔහු කුඩා අවධියේ සිටම තමන්ට වසඟ වෙන තරුණියන් ගෙන් මුදල් උපයාගෙන විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවත් අම්මා කීවාය.
තරුණයා සතුව ඇති වටිනා ජංගම දුරකථනය තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා පරිගණක අපරාධ විමර්ශන අංශයට යොමු කිරීමට පොලිසිය තීරණය කොට තිබිණි.
ජංගම දුරකථනයක් අතට ගත් සැනින් අධ්‍යාපනික ක්‍රමවේද හරහා බව පවසමින් දෙමව්පියන් නොමඟ යවා විවිධ අයගේ බස් වලට රැවටී ජීවිතය වරද්දා ගන්නා තරුණයන් හා තරුණියන් ඕනෑතරම් සමාජයේ මේ දිනවල දැකගැනීමට හැකි බවත් මීට වඩා දෙමව්පියන් දූ දරුවන් ගැන සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවත් දඹුල්ල පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.එම්. සුනිල් කරුණාතිලක මහතා මුළුමහත් සමාජයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට පාදක කරගනිමිනි,
අත්අඩංගුවට පත් තරුණයා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.
සටහන/ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස