එක මව් කුසෙන් දෙවරක් උපන් දරුවෝ


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

එංගලන්තයේ දැරියන් දෙදෙනා

 

තම මව් කුසෙන් බිහිකළ දරුවෙකු මරණයට පත් වීම තරම් තවත් ශෝකී අවස්ථාවක් මවකට ඇති නොවේ යයි කීම නිවැරදිය. දස මසක් තම කුසෙහි තබාගෙන සිට බිහිකළ දරුවා අකාලයේ සමුගෙන යාම මවකට විඳදරා ගැනීම පහසු කාර්යයක් නොවේ. එවැනි දරුවෙකු මියගිය විටදී යළිත් තම කුස තුළින් උපදින ලෙස ප්‍රාර්ථනා කරන මව්වරුද සිටිති. ඇතැම් විට එම දරුවා නැවත උපදින ලෙස විවිධ පූජනීය ස්ථාන වෙත ගොස් විවිධ පින්දහම් කරන අයුරුද ඇතැම් විට දක්නට ලැබේ.  


දරුවන් මියගිය එවැනි මව්වරුන් කීප දෙනෙකුට තම මියගිය දරුවා යළි එම මවගේම කුසතුළින් බිහි වී ඇතැයි පිළිගැනීමට හැකි වූ පෙර භවය හෙළි කළ දරුවන් කීප දෙනෙක් සිටිති. පුනර්භව පර්යේෂණ අතර (Same Family Cases) යනුවෙන් හඳුන්වන පුනර්භව සාධක අතර එවැනි සිදුවීම් රැසක් ඇත.  


එම සිදුවීම්වල ඇතැම්විට ප්‍රබල සාක්කි බවට පත්වන්නේ මියගිය දරුවන්ගේ සිරුරවල තිබූ විවිධ ලප කැළල් ඒ අයුරින්ම පෙරභවය හෙළි කළ දරුවන්ගේද සිරුරුවල පිහිටා තිබීමය. තවත් විටෙක පෙර භවයේ මරණයට හේතු වූ කිසියම් අනතුරකදී ඇති වූ මාරාන්තික තුවාල කැළැල් ඒ අයුරින්ම පෙර භවය හෙළිකළ දරුවන්ගේද දක්නට ලැබීමය.  


තවත් විටෙක මියගිය දරුවා ජීවත්ව සිටියදී එම දෙමාපියන් පමණක් දැන සිටි ඇතැම් සිදුවීම් පෙරභවය හෙළිකළ දරුවා විසින් අනාවරණය කිරීමය. පෙරභවයේ නිවසේ තිබූ භාණ්ඩ සහ ඇසුරු කළ පුද්ගලයින්ගේ පුද්ගල නාමයන්ද පෙරභවය හෙළි කළ දරුවා විසින් හෙළි කිරීමද තවත් ප්‍රබල සාක්කි බවට පත්විය.  
මියගිය තම දරුවා යළි තම මව් කුසයෙන් බිහිවන්නේද යන්න නිරීක්ෂණය කිරීමට සිදුකරනු ලබන පර්​යේෂණයන්ද ඇත. එම පර්යේෂණයේදී මියගිය දරුවාගේ සිරුරේ කිසියම් සලකුණක් තබා යළි උපතක් සිදුවන්නේ නම් එම සළකුණ සාක්කි ලෙස පිළිගන්නා අවස්ථාද ඇත. ඉන්දියාව, බුරුමය සහ තායිලන්තය මෙම පර්යේෂණ අත්හදා බලන රටවල් ලෙස හැදින්විය හැකිය. එම පර්යේෂණ (EXPERIMENTAL BIRTH MARKS AS IDENTIFIERS OF DECEASED PERSONS WHO ARE SAID TO BE REBORN) යනුවෙන් පර්යේෂණ වාර්තාවලට ඇතුළත් වී තිබේ.   

 

සුනාමි දුම්රිය පෙරලීම ගැන කළ සිතුවම

 


එකම මවගේ කුසතුළින් දෙවරක් උපත ලැබූ බැව් හෙළි කළ දරුවන් කීප දෙනෙක් ශ්‍රී ලංකාවේ පුනර්භව සාධක අතරට එක් වී ඇත. දෙමාපියන් මවිතයට පත් කරමින් එම තොරතුරු හෙළිකළ ප්‍රථම දරුවා වූයේ වැලිවේරිය ප්‍රදේශයේදී උපත ලද වර්ණසිරිය. ඔහු හෙළි කළේ පෙරභවයේදී මරණයට පත්වූ මහීපාල නම් තරුණයකුගේ ජීවිත තොරතුරුය.  


පෙරභවය හෙළි කළ වර්ණසිරි තම මවට පැවසුවේ ‘‘මම මේ අම්මා ළඟ ඉපදුනා. ඊට පස්සෙ මැරුණා. ආයෙත් මම ඉපදුනා’’ යනුවෙනි එම දරුවා පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී ඔහු හෙළිකළ පෙරභව තොරතුරු කරුණු රැසක් පැහැදිලිව සනාථ විය. එහි තිබූ අතිවිශේෂ ප්‍රබල සාක්කිය බවට පත්වූයේ වර්ණසිරිගේ මව විසින් සිදු කළ ප්‍රකාශයක් විය. මව පැවසුවේ වර්ණසිරිගේ උපත සිදුවීමට ප්‍රථම ඇයගේ කුසෙන් දරුවෙක් බිහි වූ බවත් එම දරුවා මළ දරු උපතක් වූ බවත්ය. නැවත ඇය දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමෙන් පසුව බිහිවූ දරුවා වර්ණසිරි බවත්ය.  


එක මව්කුසයෙන් යළි උපත ලැබූ බැව් පැහැදිලිව ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ දෙවැනි දරුවා වූයේ 1966 වසරේදී උපත ලද කුමාරසිරිය. කුමාරසිරි ප්‍රකාශ කළේ ඔහු එම මවගේම කුස තුළින් බිහි වූ බවය. එම මවගේ දියණියක ලෙස ජීවත්ව සිටි බවද කුමාරසිරි ඉතා නිවැරදිව පැවසුවේය. ඔහුගේ ගති සිරිත් අතරද දක්නට ලැබුණේ අස්වාභාවික චර්යාවකි. එනම් පිරිමි දරුවෙකු වුවද ඔහු ගැහැණු දරුවෙකුගේ හැසිරීම් රටාවක් නිරූපණය කළේය. ඔහු ගවුම් ඉල්ලා සිටීමද විශේෂත්වයක් විය. ඒ සමඟම කුමාරසිරි ගේ සිරුරේ දක්නට තිබූ තවත් ප්‍රබල සාක්කියක් වූයේ පෙර භවයේ දැරියක් ලෙස සිටියදී කන්පෙතිවල කරාබු පැළදීම සඳහා සිදුරු කර තිබූ කන්පෙතිවල උපන් ලප දෙකක් පිහිටා තිබීමය. ඒ සමගම මියගිය දැරියගේ සිරුරේ දක්නට තිබූ එම කැළැල් දෙක වෙත අත යවමින් ‘‘කෝ මගේ අරුංගල්දෙක’’ යයි ද කුමාරසිරි ඉතා කුඩා කළදී විමසන්නට විය.  
පෙරභවයේ තම කුසෙන් බිහි වී මරණයට පත් වූ දියණිය යළි තම කුසතුළින් බිහි වී ඇතැයි දැඩි ලෙස විශ්වාස කිරීමට තවත් ප්‍රබල සාක්කි කීපයක් මවට දක්නට ලැබිණි. මියගිය දියණිය ජීවත්ව සිටියදී නිවසේ තිබූ භාණ්ඩ කීපයක්ද ඒවා පෙර තිබූ ස්ථානද නිවැරදිව පෙන්වාදීමටත් ඒවා හඳුනාගැනීමටත් කුමාරසිරිට හැකියාව තිබිණි.  


එක මව් කුසෙන් දෙවරක් උපත ලබා ඇති බැව් දෙමාපියන්ට පිළිගැනීමට ප්‍රබල සාක්කි ඉදිරිපත් වූ තවත් දරුවෙක් අනාවරණය කළේ පසුගිය සුනාමි ව්‍යසනයේදී මියගිය බවය. පැරැලියේදී අනතුරට පත් වූ දුම්රියේ ගමන් කරමින් සිටියදී මරණයට පත් වූ එම දරුවා යළි තම මව් කුසෙන් උපත ලබන ලෙස දෙමාපියෝ පින්කම් රැසක් සිදුකළහ. විශේෂයෙන් මවගේ පැතුම වූයේ තම මියගිය පුත්‍රයා යළි තම කුසතුළින් උපදින ලෙසය. ඇය නැවත දරු පිළිසිඳ ගැනීමක් සිදුවන තුරුම ඇගේ එකම පැතුම එයවී තිබිණි.  


වසරකට පසු එම මවගේ කුසතුළින් උපත ලැබූ පිරිමි දරුවා මගින් හෙළිවූයේ ඔවුන් පුදුමයට පත්කරවන තොරතුරුය. පැරෑලියේ සිදු වූ දුම්රිය අනතුර චිත්‍රයට නගා පෙන්වීමටද එම දරුවාට හැකිවිය. ඒ සමගම ඔහුට පෙරභවයේදී තෑගි ලද භාණ්ඩ අතරින් ඔහු ඉතා ආදරයෙන් භාවිතා කළ අත් ඔරලෝසුවක්ද හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රබල සාක්කියක් ලෙසටය. දෙමාපියන්ගේ බලවත් ඉල්ලීම මත එම පුනර්භව සාධකය පිළිබඳව පෞද්ගලික තොරතුරු තවදුරටත් අනාවරණය කිරීම අපහසු වී තිබේ. පැරෑලියේ දුම්රිය අනතුර චිත්‍රයට නගා පෙන්වීමටද මෙම දරුවාට හැකිවීම විශේෂත්වයක් විය.  


මියගිය දරුවන් යළිත් එම මව්වරුන්ගේ කුසතුළින් උපත ලැබූ බවට ප්‍රබල සාක්කි ඉදිරිපත් වූ අවස්ථා රැසක් තායිලන්තයෙන්ද අනාවරණය විය. මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ගේ පර්යේෂණ වාර්තා අතර දින 20ක් වයස දරුවෙකු මරණින් පසු යළි එම මවගේ කුසෙන් ඉපදීමේ සිදුවීමක් ඇතුළත් වී තිබේ.  


ලිමා නම් වූ මවට බිහි වූ පිරිමි දරුවෙකු මරණයට පත්වීමෙන් පසු දරුවාගේ මිත්තනිය මළ සිරුරේ සලකුණක් තබමින් එම මවගේ කුසතුළින් දරුවකු ලෙස නැවත ඉපදෙන ලෙස සිරුර ඉදිරියේ හඬ නගා පවසන්නට වූවාය. ඔවුන් තුළ පැවති විශ්වාසය වූයේ යළි ඉපදීම සිදුවී ඇති බවට එම සළකුණ සාක්කියක් ලෙස පිළිගැනීමය. එම දරුවා මරණයට පත් වූයේ 1958 වසරේදීය.  


දෙවසරක් ගතවිය. එම මවට දියණියක් ලැබිණි. ඇගේ සිරුර පරීක්‍ෂා කළ විට එහි කිසිදු උපන් ලපයක් දක්නට නොලැබිණි. තවත් දෙවසරක් ගතවිය. 1962 වසරේදි එම මවගේ කුසතුළින් තවත් පිරිමි දරුවෙකුගේ උපත සිදුවිය. එම දරුවාගේ සිරුරේ පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. එය පිහිටා තිබුණේ වසර හතරකට පෙර මියගිය දරුවාගේ සිරුරේ මිත්තණිය විසින් තබන සළකුණ තැබූ ස්ථානයේය. එම දරුවා පෙරභවය අනාවරණය කිරීමක් සිදු නොවිනි. එහෙත් ඔවුන්ගේ තදබල විශ්වාසය වී ඇත්තේ මියගිය දරුවාගේ සිරුරේ සටහන් කළ සලකුණ උපන් ලපයක් ලෙස ලබා මියගිය දරුවා යළිත් එම මවගේම කුසතුලින් උපත ලබා ඇති බවය. කුඩා දරුවන් මිය යෑමෙන් පසු යළි ඉපදීම සිදුවන්නේද යන්න විමර්ශනය කිරීමේ මෙවැනි පර්යේෂණ තායිලන්තයේ සහ ඉන්දියාවේ බහුලව සිදු කෙරේ.  


හදිසි රිය අනතුරකින් මරණයට පත් වූ දියණියන් දෙදෙනෙක් යළිත් එම මවගේම කුසතුළින් නිවුන් සොයුරියන් ලෙස උපත ලැබීමේ සිදුවීමක්ද මිට වසර ගණනාවකට උඩදී එංගලන්තයෙන් අනාවරණය වීය. ලොව පුනර්භව පර්යේෂණ අතර මහත් ආන්දෝලනයක් අත්කළ එම දැරියන් දෙදෙනා උපත ලබා තිබුණේ එංගලන්තයේ හෙක්ස් හෑම් ප්‍රදේශයේදී 1958 වසරේදීය. ඔවුන් දෙදෙනා හෙළි කළේ එම මවගේම කුසතුළින් උපත ලබා රිය අනතුරකින් මිය ගිය එකම පවුලේ දැරියන් දෙදෙනා පිළිබඳවය යළි උපත ලැබූ දැරියන් දෙදෙනා ගිලියන් සහ ජෙනිෆර් නම් විය.   


පාසල් යමින් සිටියදී මහමගදී සිදුවූ රිය අනතුරකින් ඔවුන් මරණයට පත්වූයේ 1957 වසරේදීය.  


ඔවුන්ගේ මවගේ කුසතුළින් බිහිව සිටි දැරියන් දෙදෙනෙක් වූ ජැකොලයින් සහ ජොහානා පාසල් යමින් සිටියදී රිය අනතුරකින් මෙලොවින් සමුගෙන ගියහ. තම දියණියන්ට සිදු වූ හදිසි වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටි දෙමාපියන්ට එම දරුවන්ගේ වියෝව විඳදරා ගැනීම අපහසු වී තිබිණි.  


මේ අතර එම මවට තවත් දරුගැබක් ඇතිවිය. ඒ අනුව 1958 වසරේදී නිවුන් දැරියන් දෙදෙනෙක් ඇය විසින් බිහි කළාය. දෙමාපියන් මවිතයට පත් කරවමින් මියගිය දියණියන් දෙදෙනාගේ ජීවිත තොරතුරු ඔවුන් දෙදෙනා විසින් අනාවරණය කළහ. නිවසේ තිබූ මියගිය දැරියන්ගේ භාණ්ඩ රැසක්ද ඔවුන් දෙදෙනා විසින් නිවැරදිව පෙන්වා දීමත් මියගිය දැරියන්ගේ සිරුරුවලට සිදුවූ තුවාල උපන් ලප ලෙස පිහිටා තිබීමත් මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කි බවට පත්වීය. එකම මව්කුසෙන් දෙවරක් උපත ලැබූ බැව් සනාථ වූ මෙම දැරියන්ගේ කතා පුවත මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ ග්‍රන්ථයකට මෙන්ම එංගලන්තයේ පුවත්පත් මගින්ද මහත් ප්‍රසිද්ධියට පත් කළ සිදුවීමක් විය.  

 

 

තිස්ස ජයවර්ධන