චිචීගේ උත්සාහය ක්‍රිකට් මුල් පුටුවටද?


 

කළුතර නාගරික ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායමට පසුපෙළ වමේ සිට සිව්වැන්නා රෝහිත රාජපක්ෂ

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ පසුගිය බදාදා (27) ආරම්භ වූ අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේදී කළුතර නාගරික ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීම ඔහු යළිත් අවධානය දිනාගත් මාතෘකාවක් විය. ඔහු නිල වශයෙන් ‘‘ලෙදර බෝල’’ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි පළමු අවස්ථාව ලෙස සටහන් වූ එහිදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය කඩුලු 2කින් ජය ගැනීමට කළුතර නාගරික ක්‍රීඩා සමාජය සමත් විය.  


එසේ වුවත් 32 හැවිරිදි රෝහිත රාජපක්ෂ මෙම තරගයේදී ලකුණු නොලබාම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදටය.  


ක්‍රිකට් ක්‍රීඩාවට රග්බි ක්‍රීඩාවට තරම්ම ඇල්මක් දක්වන රෝහිත කළුතර නාගරික පිලට එක්වීමට පෙර බදුරලිය ක්‍රීඩා සමාජයේද කලක් පුහුණුවීම්වල නිරතවූවෙකු බව වාර්තා වේ.  


කලින් කලට විවිධ පුවත් මවන්නකු වන ‘‘චිචී’’ යනුවෙන් ද ඇතැමුන් හඳුනාගන්නා රෝහිත රාජපක්ෂගේ වැඩිමහල් සොහොයුරු නාමල් රාජපක්ෂ වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රෝහිතගේ බාප්පාය.  


කලක් ගගනගාමියෙකු වීමට උනන්දුවක් දැක්වූ රෝහිත ගීත ගායනයට ද උනන්දුවක් දක්වන්නකු වන අතර, ‘පුංචි පුතු මගේ’’ ඔහු විසින් ‘‘යූ ටියුබ්’’ ඔස්සේ ගායනා කළ වීඩියෝ දසුන් ඇතුළත් ගීතයට ඉහළ අවධානයක් යොමු විය.  


කළුතර නාගරික ක්‍රීඩා සමාජය යනු මෙරට පැරණිතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයකි. ඉංග්‍රීසීන් මෙරට වතු වගාවට යොමුවූ 1887දී තරම් ඉතා ඈත යුගයකදී ආරම්භ කළ එම ක්‍රීඩා සමාජය 1934 දී ඩේලි නිවුස් කුසලාන දිනා ගත්තේ පසු කාලයේ මෙරට බෞද්ධ පුනරුදයේ පුරෝගාමියකු ලෙස සැලකෙන කළුතර මහබෝධි භාරකාර මණ්ඩලය ආරම්භ කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ නායකත්වයෙනි.  


වසර 12කට ආසන්න කාලයක් පුරා කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති ධුරය හොබවන කලක් ඩේලිමිරර් පුවත්පතේ ව්‍යාපාරික කර්තෘ හා ඩේලිඑෆ්ටී පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙසත් කටයුතු කළ දීපාල් පෙරේරා රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස බඳවා ගැනීම ගැන ‘‘ඉරිදා ලංකාදීප’’ය කළ විමසුමකදී මෙසේ පැවැසීය.  

 

කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා මහතා රෝහිත රාජපක්ෂ ක්‍රීඩා සමාජ කණ්ඩායමේ සාමාජිකත්වය තහවුරු කිරීමත් සංකේතවත් කරමින් ක්‍රීඩා බැනියම ප්‍රදානය කළ අයුරු ක්‍රීඩා සමාජ ලේකම් දිල්ෂාන් අබේ​සේකර මහතා ද මෙහි සිටී   

 


‘‘ඇත්තම කතාව රෝහිත රාජපක්ෂ අපි හොයාගෙන ගියේ නෑ. ඔහු අපිව සොයාගෙන ආවා. ඔහු කිව්වා අපේ ක්‍රීඩා කණ්ඩයමේ ක්‍රීඩා කරන්න කැමතියි කියලා. එතනදී අපි ඔහුගේ හැකියාව පරීක්ෂා කරන්න පුහුණු තරගයකට යොමු කළා. එතනදී ඔහුගේ ක්‍රිකට් හැකියාව ගැන අපේ පුහුණුකරුවන් යම් සෑහීමකට පත්වෙලා පෙර පුහුණුවීම්වලට බඳවා ගත්තා.  


මේ පුහුණු තරගයේදී ඔහු ලකුණු 20ක් රැස් කළා. අපි මෙතනදී ගොඩක් සතුටු වෙන්නේ ඔහුගේ විනයගරුකභාවය ගැනයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙක් කියලා ඔහු පුහුණුවීම්වලට ආවම වෙනස් පුද්ගලයෙකු කියලා වෙන්වෙන්න ඔහු කොයිවෙලාවකවත් උනන්දු වෙන්නෙ නෑ. කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩාංගණයේ එකටම ඉඳගෙන කෑම ගන්නවා. පුහුණුකරුවන්ට ‘‘සර්’’ කියලා ඉතා ගෞරවයෙන් සෙසු ක්‍රීඩකයන් වගේම කතා කරනවා. මම මෙතනදී කියන්න උත්සාහ ගන්නේ ඔහුගේ මේ විනයගරුක බව අපි ඉතාම අගය කරනවා කියලයි.  


ඔහු කොතරම් කාලයක් අපේ ක්‍රීඩා සමාජයේ ඉන්නවද කියලා අපිට කියලා නැහැ. බැහැයි මේ අන්තර් සමාජ තරගාවලියේ අපේ ක්‍රීඩා සමාජය සහභාගි වන සියලු තරගවලට ක්‍රීඩා කරන්න රෝහිත බලාපොරොත්තුවෙන් ඉන්නවා.  


ඔහු අපේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් සොයා බලනවා. එහෙම එක් අවස්ථාවකදී රෝහිත අපේ ක්‍රීඩකයකු ඔහුව රැගෙන ගොස් දහවල් කෑමත් ඔහු සමග අරගෙන ප්‍රශ්නයත් විසඳලා දීලා තිබෙනවා. කොටින්ම අපි මෙතනදී කියන්න හදන්නේ අපිත් එක්ක ක්‍රීඩා සමාජයේ ගත කරන්නේ සාමාන්‍ය ක්‍රීඩකයකු හැටියට මිසක් අගමැතිගේ පුතා හැටියට නොවන බව කියන කාරණයයි.  


මේ අතර වාර්තා වන්නේ කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ වත්මන් තත්ත්වය පිළිබඳව රෝහිත රාජපක්ෂගේ අවධානය යොමුව තිබෙන බවයි. කලත් ක්‍රීඩාගාරය මැදින් මිනිසුන් යන එන අඩි පාරක්ද වැටී තිබූ බව වාර්තා වේ.  


වසර 150කට වැඩිය පැරණි එවකට ඉංග්‍රීසීන් භාවිතයට ගත් ස්නූකර් හා බිලියඩ් පුවරුවක්ද මෙම ක්‍රීඩා සමාජ මූලස්ථානයේ දැනටත් ක්‍රීඩා කිරීම සඳහා යොදා ගැනේ.  


මෙම ක්‍රීඩාංගණය සුපිරි පහසුකම්වලින් සමන්විත නවීකරණය කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියක්ද ඉදිරියේදී ක්‍රියාවට නැංවෙන බව ක්‍රීඩා සමාජ සභාපති දීපාල් පෙරේරා මහතා පවසයි. ඒ සඳහා සහයෝගය දැක්වීමට ද රෝහිත රාජපක්ෂ මහතා ප්‍රතිඥා දී තිබේ.  


අන්තර් සමාජ සීමිත ඕවර තරගාවලියට සහභාගි වන අතරතුර ඔහුට තරග කීපයක් මගහැරෙනු ඇතැයි පැවසෙන්නේ ඒ අතරතුර ඔහු ශ්‍රී ලංකාව සහභාගි වන රග්බි තරගාවලියක් සඳහා ද විදේශගතවීමට සූදානමින් සිටින බැවිනි.  


එක්සත් රාජධානියේ සවුත් ඇම්ෆ්ටන් විශ්වවිද්‍යාලයේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන රෝහිත රාජපක්ෂ මහතා මේ සැරසෙන්නේ ක්‍රිකට් පරිපාලනයට පිවිසීම සඳහා වන මූලික අඩිතාලම සකස් කර ගැනීමට බව සමහරු මත පළ කරති.  


ඊට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ තනතුරු දැරීමට නම් ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තරග සහභාගිත්වය සනාථ කිරීම අනිවාර්ය වන බැවිනි. එහෙත් රෝහිත රාජපක්ෂ පවසා ඇත්තේ, ක්‍රිකට් පරිපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් තමන් තුළ නැති බවයි.  


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස දැනට කටයුතු කරන්නේද රෝහිත රාජපක්ෂ මහතාය. 

 

 

නාමල් පතිරගේ