ජීවත්ව සිටියදීම තමන්ගේ සොහොන් කොත ඉදිකළ අඹුසැමියෝ


ලොව උපන් අයකු කෙසේ මිය යයිද එසේම ඔහු හෝ ඇයගේ අවසන් කටයුතු කුමන ආකාරයෙන් සිදු වේවිද තමන්ගේ සොහොන් කොත කුමන ආකාරයේද යන්න කිසිවකුත් නොදනී. එහෙත් තමන් දෙපළ මියගිය පසුව මිහිදන් කිරීමට අවශ්‍ය සොහොන්කොත ජීවත්ව සිටියදීම තමන්ට අවශ්‍ය පරිදි තම ආදරණීය පුතෙකු ලවා ඉදිකර අවමංගල්‍ය ආයතනයට වැයවන මුදල ද ගෙවා සතුටින් කල් ගෙවන අපූරුම යුවළක් සොයා අපි ගියෙමු.  


වැලිගම කොක්මාදුව ගම්පියසේ “පරණ වත්ත” ලිපිනයේ පදිංචි ඩැනී දිසානායක (89) සහ ඔහුගේ ආදරණීය බිරිඳ නුගදූව විතානගේ ගුණවතී (88) යන දෙපළ දරුවන් හතරදෙනකුගේ ආදරණීය මව්පියෝ වෙති.  
දියණියක් සහ පුතණුවන් තුන් දෙනකු දරු පිරිසට අයත් වේ. එම පවුලේ බාලයා වන ඩී. ජයරත්න මහතා (54) ආදරණීය දෙමව්පියන් රැකබලා ගනිමින් තම ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යයි.  


තමන් උපයාගත් දෙයින් මෙම යුවළ අවට විහාරස්ථාන කිහිපයකට කොත් පැළැඳවූ අතර කොක්මාදුව පූර්වාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා කොත් පැළඳවීමේ උත්සවය එවකට ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ බවද දිසානායක මහතා කියයි.  
ආගමික පරිසරයක ජීවත් වූ දෙමව්පියන්ගේ අභිප්‍රාය වූයේ යම් දිනක මියයන බවත් එදිනට පවුලේ දරුවන්ට හා ඥාතීන්ට විවිධ බාධක කම්කටොලුවලට මුහුණ නොදී තමන් මිහිදන් කිරීමට අවශ්‍ය සොහොන් කොත ඉදිකර තැබීමටත්ය. මේ සඳහා බොහෝ අයට පවසා සිටියත් ඔවුන් සඳහන් කර තිබුණේ ජීවත්ව සිටින කෙනකු වෙනුවෙන් සොහොන් කොත් ඉදිකිරීමට කැමැත්තක් නැති බවය.  


කෙසේ නමුත් දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම නිසාම පුතාවන ඩී. ජයරත්න මහතාට සිද්ධ වුණේ දෙමව්පියන් වෙනුවෙන් ඔහුගේ දෑතින් සොහොන් කොත් දෙකක් ඉදිකිරීමටය. තම මව්පියන්ගේ අදහසට අනුව එම කටයුතු අලංකාරවත් ලෙස නිමකිරීමට පුතණුවන් වන ජයරත්න කටයුතු කළේය. සොහොන් කොත පමණක් ඉදි කිරීම ප්‍රමාණවත් නොවන නිසාම ඔවුන්ගේ අවසන් කටයුතු භාරදීමට මාතර සණස මල්ශාලාව සඳහා මුදල්ද ගෙවා ගිවිසුමක් ද අත්සන් කිරීමට මෙම යුවළ සහ දරුවෝ කටයුතු කළහ.  


ඉන්පසු පවුලේ හැමෝම එක්ව ප්‍රදේශයේ මහා සංඝරත්නය නිවසට වැඩමවා දානමය පින්කමක් සිදු කර අටපිරිකර පූජා කිරීමටද අමතක නොකළහ. තමන්ගේ ජීවිතය කෙදිනක හෝ නිමා වන බව පසක් කරගෙන වසර පහළොවකට පමණ පෙර දී තමාගේ සහ බිරිඳගේ ඉල්ලීම පිට තම ආදරණීය පුතණුවන්ගේ දෑතින් නිවස ඉදිරිපිට ඉදිවූ සොහොන දිනපතා පිරිසිදු කරමින් කටයුතු කරන බවද එම මව්පියෝ සිනාමුසු මුහුණින් යුතුව අප සමග පැවසූහ.  

 


මෙම යුවළගේ බාල පුතණුවන් වන ඩී. ජයරත්න මහතා මෙසේ කීවේය.  


මම තමයි පවුලේ බාලයා. කොක්මාදුව ප්‍රදේශයේම ව්‍යාපාරික කටයුතු කරන්නේ. ආදරණීය අම්මත් තාත්තත් රැක බලා ගන්නේ මා ඇතුළු පවුලේ අය. මගේ පවුලේ සහෝදරයො දෙන්නෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඔවුන් විවිධ ස්ථානවල පදිංචිවෙලා ඉන්නේ. ඉතින් තාත්තාගේ සහ අම්මාගේ ඉල්ලීමක් තිබුණා මැරෙන්න කලින් සොහොන් කොත ඉදි කරලා අවශ්‍ය කටයුතු කරලා තියන්න. ඒ අනුව තමයි මා අතින්ම සොහොන් කොත ඉදි වුණේ. අපි හැමෝටම පොදු කාරණාව මරණය. මේ නිසා බයක් නැහැ. දෙමව්පියො වෙනුවෙන් සොහොන් කොත ඉදි කරන දවසේ ගමේ අයට ආරංචිය ලැබිලා විශාල පිරිසක් ආවා. එදා හරියට මඟුල් ගෙදර වගේ තිබුණා. ඒ මහතා කීවේය.  

 

සටහන/ඡායාරූප
කඹුරුගමුව තරංග ගුණරත්න