පැය 12ක් පිහිනා පණ බේරාගත් පොලිස් ඇමැති


ලෝකෙන් ටිකක්

මැඩගස්කරය ඉන්දියන් සාගරයේ පිහිටි අප්‍රිකා මහද්වීපයට යාබද ප්‍රමාණයෙන් විශාල දූපත් රාජ්‍යයකි. මැඩගස්කර් රජයේ පොලිස් සේවා අමාත්‍ය ධුරය හොබවන්නේ 57 හැවිරිදි අමාත්‍ය සර්ජ් ජෙල් ය. පසුගිය දා අමාත්‍යවරයා මාරක අනතුරකට මුහුණ දී දිවි ගලවා ගත්තේය.   


පසුගිය 20 වැනිදා සඳුදා මැඩගස්කරයේ ඊසාන දෙසින් ගැඹුරු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නැවක් අනතුරට පත් වී මුහුදේ ගිලී ගියේය. ඒ, එම නැව අනවසරයෙන් මගීන් රැගෙන යද්දීය. එය ඛේදවාචකයක් විය. සිදුවූයේ කුමක්දැයි හරිහැටි පැහැදිලි කර ගැනීමට, රජයේ නිලධාරීන් ද ඇතුළු 64 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය 21 වැනිදා සවස හෙලිකොප්ටර් යානයකින් නැව අනතුරට පත්වුණු ස්ථානය බලා පියාසර කළහ.   
හිටිහැටියේ හෙලිකොප්ටර් යානය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහී මුහුදට කඩා වැටුණි. අනතුරට හේතුව එය ප්‍රචණ්ඩ සුළං පහරකට හසුවීමෙන් යැයි පැවැසෙයි. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවැත්වෙයි. හෙලිකොප්ටරය කඩා වැටෙද්දී බොහෝ දෙනෙක් මුහුදට පැන ගත්හ. ඒ අතර, අමාත්‍ය සර්ජ් ජෙල් ද විය.   


ඒත් හැමෝටම දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත. මුහුදට කඩාවැටී සුණු විසුණු වුණු යානයේ එක් අසුනක් බදාගෙන සිටි අමාත්‍යවරයා ගොඩබිම බලා පිහිනන්න පටන් ගත්තේය. ඒ කාට හෝ තමන් හමුවෙනු ඇතැයි වන විශ්වාසයෙනි.   

 


තමන්ට තුවාලයක් සිදු වී නොතිබුණත් රාත්‍රිය වනවිට, පිහිනන්නට වූ තමන්ට අධික සීතලක් දැනෙන්නට වූ බව අමාත්‍යවරයා පසුව මාධ්‍ය හමුවේ පැවැසීය.   


‘මට මැරෙන්න ඕනෑ වුණේ නැහැ. මං කල්පනා කළේ මගේ බිරිඳ සහ දරුවන් ගැනයි. කොහොම හරි දිවි ගලවා ගන්න මා කල්පනා කළා. මා සිටියේ ගොඩබිම සිට වැඩි ඈතක නොවන බව දැන සිටියා. ඒ අනුව මා අනුමාන කළ දිශාවට පිහින්නන ගත්තා.‘ යැයි අමාත්‍යවරයා පැවැසුවේ රෝහලේ සිටිද්දීය.   
අමාත්‍යවරයා කී විස්තර අනුව, ඔහු රාත්‍රී 7.30 සිට උදෑසන 7.30 තෙක් සෙමින් සෙමින් ගොඩබිම දෙසට පිහිනා ඇත. අවසානයේ ඔහු ළඟා වූයේ මහම්බෝ නමැති ධීවර ගම්මානය පිහිටි වෙරළටය. ධීවර ගම්මානයේ වැසියන් අමාත්‍යවරයාට පිහිට වූ අතර, පැය 12 ක් තිස්සේ පිහිනා අමාත්‍යවරයා දිවි ගලවා ගත් බව අගනුවරට දැනුම් දෙන ලදී.   

 


අමාත්‍යවරයා කඩිනමින් රෝහල් ගත කෙරුණු බවත්, ඔහු දැඩි ලෙස විඩාවට පත් වී සිටි බවත් මැඩගස්කර් පොලිස්පති ස්‍ෆිසම්බ්‍රාටා මාධ්‍ය හමුවේ පැවැසුවේ එම අවස්ථාවේදීය. පසුගිය 22 වැනිදා වනවිට හෙලිකොප්ටරයේ සිටි 18 දෙනකුගේ මළසිරුරු වෙරළාරක්ෂක නිලධාරීන්ට හමුවී තිබුණි.   
අමාත්‍ය සර්ජ් ජෙල් හිටපු පොලිස් නිලධාරියෙකි. ඔහු මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා බවට පත් වූයේ පසුගිය අගෝස්තුවේ සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයකදීය.   
‘ඔහු දක්ෂ පිහිනුම් ශූරයෙක්. හොඳ නිරෝගී තැනැත්තෙක්. අවුරුදු 30 ක තරුණයෙක් වගේ ඔහු මුහුදේ පිහිනලා පණ බේරා ගත්තා. ඒක සැබැවින්ම විස්මිතයි‘ යැයි පොලිස්පති ස්‍ෆිසම්බ්‍රාටා මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේය.   
බීබීසී ඇසුරිනි   

 

 

ලු‍සිත ජයමාන්න