ඇමෙරිකාවට අනුව, ලිබියාව යනු ෆේල්ඩ් ස්ටේට්’ එසේත් නැතිනම් අසාර්ථක, ගොඩ ගැනීමට නොහැකි’ රාජ්‍යයකි. ඇමෙරිකාවේ ෆේල්ඩ් ස්ටේට්’ යනුවෙන් රටක් නම් කරන්නේ, එම රට ඇමෙරිකාවට ඕනෑ විදියට හසුරුවා ගැනීමට නොහැකි වූ විටය. අරාබි වසන්තය හරහා ලිබියාවේ මහා දේශපාලන පෙරැළියක් සිදුවුණු ලිබියාව අද දේශපාලනික වශයෙන් අස්ථාවර වී ඇත. සන්නද්ධ කණ්ඩායම් තමන්ට රිසි ලෙස පළාත් සහ නගරවල බලය තහවුරු කර ගෙන සිටී. තෙල් වලින් පොහොසත් වුවත්, ඒ, තෙල් සම්පත නිසි ලෙස කළමනාකරණයකට ලක් නොවන බැවින් ලිබියානු වැසියන් දිනෙන් දින පීඩාවට පත් වෙයි. අත්‍යවශ්‍ය භණ්ඩ මිල අහස උසට නැග ඇති අතර දීර්ඝ විදුලි කප්පාදුවක් ද දෛනිකව සිදුවෙයි.
ලිබියාවට ඇත්තේ අන්තර්වාර රජයකි. මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති නමුත් එය ද දිනෙන් දින කල් යයි. මැතිවරණ ප්‍රමාදයට හේතුව ස්ථාවර රජයක් පිහිටුවීමට ශක්තිමත් දේශපාලන කණ්ඩායමක් නොසිටීමය. ලිබියානු දේශපාලන පක්ෂ අතරේ ගැටුම් බහුලය. මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි කිසිදු පක්ෂයක් උනන්දු වන බව පෙනෙන්නට ද නැත. ඒ අනුව, ලිබියානු වැසියන්ගේ දැඩි විරෝධය දේශපාලනඥයන්ට එල්ල වෙයි. එසේ එල්ල වන විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස, පසුගිය දා සියයකට වැඩි විරෝධතාකරුවෝ පිරිසක් ලිබියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඊට හානි සිදු කළා පමණක් නොව, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසක් ගිනි තබා විනාශ කළහ.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ලිබියාවේ ටොබ්රුක් නුවරය. පසුගිය සති අන්තයේ උදෑසන සිටම ගොඩනැගිල්ල ඉදිරිපිට තරුණ පිරිස් විරෝධතා පවත්වන්න වූහ. කඩිනමින් මැතිවරණයක් පවත්වන්නැයි ඔවුහු කෑ කෝ ගසන්න වූහ. ටයර් ගිනි තබන්න වූහ. විරෝධතා ප්‍රචණ්ඩකාරී වූයේ දෙවැනිදා සවසය. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක නිලධාරීන්ට පහර දෙමිනි. අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව දිනෙන් දින ඉහළ යෑම සහ මැතිවරණය කල් යෑම විරෝධතාකරුවන් කුපිත කිරීමට සමත් වී තිබුණි.
ලිබියාවේ අන්තර්වාර රජයට නායකත්වය දෙන්නේ, අබ්දෙල් හමීද් ඩලීබා ය. කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා දේශපාලනික අර්බුදය විසඳන බවට අබ්දෙල් හමීද් ඩලීබා පොරොන්දු වී ඇති නමුත් එම පොරෙන්දුව ඉටුවන බවක් නොපෙනෙයි. සති අන්තය පුරා ලිබියාවේ ට්‍රිපොලි අගනුවර සහ සෙසු ප්‍රධාන නගර රැසකම ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වූයේ ඒ අනුවය. විරෝධතා සංවිධානය කරන්නේ සිවිල් ක්‍රියාකාරීන්ය.
‘අරාබි වසන්තය’ නමැති රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ල ලිබියාවට පැතිරුණේ 2011 වසරේ දී ය. ඒ අනුව, දීර්ඝ කාලයක් තිස්සේ ලිබියාවට නායකත්වය දුන් ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහි කැරැල්ලක් ආරම්භ විය. එම කැරැල්ල මෙහයවූයේ ලිබියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ආරම්භයේ දී ගඩාෆි, හමුදාව සහ පොලිසිය යොදවා විපක්ෂය සංවිධානය කළ ජනතා විරෝධතා මර්දනය කරද්දී, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සහාය විපක්ෂ කැරැලිකරුවන්ට හිමිවිය. ඇමෙරිකාවෙන් සහ ප්‍රංශයෙන් ලිබියානු කැරැලිකරුවන්ට අවි ලැබුණි. ඒ අනුව, ලිබියාවේ සිවිල් යුද්ධයක් නිර්මාණය විය.
කර්නල් මුවම්මාර් ගඩාෆි අමු අමුවේ ඝාතනය කිරීමෙන් පසු සිවිල් යුද්ධය අවසන් වූ නමුත්, ලිබියාව අස්ථාවර වීම කෙමෙන් ආරම්භ විය. ගඩාෆි පාලනයට එරෙහිව එක් වී සටන් වැදුණත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවත් සන්නද්ධ කණ්ඩායම් දෙකඩ විය. ඇමෙරිකාවට, ප්‍රංශයට සහ නේටෝ සංවිධානයට හිතවත් කණ්ඩායම් සහ හිතවත් නොවන කණ්ඩායම් අතරේ බෙදීම් හටගත්තේය. බටහිර අනුග්‍රහයෙන් රජයක් පිහිටුවීම සිදුවුවත් එය පිළිනොගැනීමට බටහිර හිතවාදී නොවන දේශපාලන කණ්ඩායම් පියවර ගත්තේය.
2014 දී බටහිර අනුග්‍රහයෙන් පිහිට වූ රජය බිඳ වැටුණු අතර, අන්තර්වාර ජාතික සමඟි රජයක් පිහිටුවීම සිදුවිය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙමිනි. අබ්දෙල් හමීද් ඩලීබා අන්තර්වාර රජයේ නායකයා ලෙස පත් කර ගැනීම ඒ අනුව සිදුවිය. දේශපාලන මත ගැටුම් අවසන් කිරීම, සාමය ස්ථාපිත කරමින් රට එකමුතු කිරීම සහ රටේ ආයතන යළි ඒකාබද්ධ කිරීම මෙම අන්තර්වාර රජයේ අරමුණ විය. නිසි වේලාවට නිසි අයුරින් මැතිවරණ පැවැත්වීම ප්‍රධාන කාර්යය විය. ඒ අනුව, පසුගිය 2021 වසරේ දෙසැම්බර් 24 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම වුවත් එය දිනෙන් දින පස්සට ගියේය. තවමත් මැතිවරණයක් පැවැත්වෙන දිනයක් ප්‍රකාශයට පත් කර නැත. ජනතාව කුපිත වී පාර්ලිමේන්තුවට කඩා වැදී පහර දුන්නේත්, ඊට ගිනි තැබුවේත් මෙවැනි තත්ත්වයක් යටතේය.
ලිබියාවේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පමණක් නොව, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කනස්සල්ල පළ කර තිබේ. “ලිබියාවේ දේශපාලන පක්ෂ සියල්ල ඔවුන්ගේ දේශපාලනික මතවාද බැහැර කර, රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් එක් වී තීන්දු තීරණ ගන්න ඕනෑ. කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් පිහිටුවීම කරන්න ඕනෑ” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලිබියානු නියෝජිතවරිය ස්ටෙෆනී විලියම්ස් කනස්සල්ල පළ කරමින් කියා සිටියාය.
අල් ජසීරා ඇසුරිනි
ලුසිත ජයමාන්න