ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී පාලනයට යටත් වීමත් සමග අධිරාජ්‍යවාදීහු තම පාලනයේ පහසුව තකා හෙළ බොදු සිරිතින් විරිතින් ඈත් වූ සිංහල ජාතිය තමන්ට ගැති පිරිසක් බවට පත් කර ගැනීමට මිෂනාරී අධ්‍යාපනය හරහා සියලු උත්සාහ ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස 19 වැනි සියවස අවසානය සිංහලයාට අහිතකර කාල පරිච්ඡේදයක් විය. සිංහලකම සිංහල නමත් සමග අතුරුදන් වන තැනට පැමිණි අතර සිංහලයාට ආවේණික සියල්ල අභාග්‍ය සම්පන්න ලෙස ගිලිහී යමින් තිබුණි. එසේම මිය යන්නට සිටි සිංහල ජාතියට ජීව වායුව පිඹින්නට ඒ ජාතිය තුළින්ම පහළ වූ සුපින්වත්තු පිරිසක් බිහි වූහ. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් විවිධ මතවාද මුල් කරගෙන පානදුරා වාදය ආදී පංච මහා වාද ඇති වූ අතර ඒවායේ ඉංග්‍රීසි පිටපත් ලෝකය පුරා පැතිරී ගියේය.
සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, බ්ලැවැට්ස්කි මැතිනිය හා එක් වී ඇෙමරිකාවේ වොෂින්ටන් නුවර දී “සත්‍යයට වඩා පරම ධර්මයක් නැත” යන ආදර්ශ පාඨයට අනුව ‘තියෝසොෆිකල් සමිතිය’ ආරම්භ කිරීම පසුපසද ඇත්තේ ඉහත කී පංච මහා වාදයන්ගේ බලපෑමයි. ලොව පුරා මෙහි ශාඛා ව්‍යාප්ත වීමත් සමඟ බහුතරයක් ඒවායේ සාමාජිකයෝ වූහ. ඒ අනුව 1880 දශකයේ ලංකාවට පැමිණි ඕල්කට් බ්ලැවැට්ස්කි දෙපළ බුදු දහම වැළඳ ගත් අතර බෞද්ධාගමේ හා අධ්‍යාපනයේ ප්‍රබෝධය උදෙසා “බෞද්ධ පරම විඥානාර්ථ සංගමය” හෙවත්; “බුඩිස්ට් තියෝසොෆිකල් සොසයිටිය” පිහිටුවා කොළඹ ආනන්ද, ගාල්ල මහින්ද, මහනුවර ධර්මරාජ යන බෞද්ධ බාලක පාසල් ඇරඹීමට පියවර ගත්හ. මෙය දුටු අගනුවර කාන්තා පිරිසක් ලාංකික දියණිවරුන්ට ද මෙකී අධ්‍යාපන වරම ලබා දෙනු වස්, විගස සංවිධානය වූහ. ඔවුහු බෞද්ධ පරම විඥානාර්ථ සංගමයට අනුබද්ධව ‘නාරි ශික්ෂාදාන’ නමින් සමිතියක් පිහිටුවා ගත්හ. ඕල්කට්තුමන් හා පරම විඥානාර්ථවාදී පීටර් ද ආබ්‍රෙව් මැතිතුමන්ගේ අත්සනින් “ද පාත්” සඟරාවේ දැන්වීමක් පළ විය. මෙම දැන්වීම කෙරෙහි තම සැමියාගේ වියෝවෙන් කම්පනයට පත්ව මුළු ජීවිත කාලයම පරාර්ථයෙහි යෙදීමට අධිෂ්ඨාන කරගෙන සිටි මරී මියුසියස් හිගින්ස් මැතිනියගේ අවධානය යොමු විය. එම පුරප්පාඩුව සම්පූර්ණ වුයේ 1889 වසරේ ‘ප්‍රසියන්’ නෞකාවෙන් ලංකාවට සපැමිණි එවකට ඇමරිකාවේ පදිංචිව සිටි ජර්මන් ජාතික 34 හැවිරිදි මරී මියුසියස් හිගින්ස් මැතිනියගෙනි.
සැතපුම් දහස් ගණනකට දුරින් ඇති නුහුරු නුපුරුදු රටක ජාතියක දිළිඳු දැරියන්ට අහිමිව පැවති නිසි අධ්‍යාපනය ලබාදීමට නිස්සරණාධ්‍යාසයෙන් අප්‍රතිහත ධෛර්යයෙන් ඇය තම දිවියම කැප කරමින් මෙහි පැමිණියාය. හිගින්ස් මැතිනියගේ කුසලතා හා පරිපාලන හැකියාව මනාව හඳුනාගත් පරිත්‍යාගශීලී සුපින්වතෙකු වූ පීටර් ද ආබෘ මැතිතුමා කොළඹ කුරුඳුවත්තේ, රොස්මිඩ් පෙදෙසේ පිහිටි තම වටිනා ඉඩමෙන් කුඩා කොටසක් හිගින්ස් මැතිනියට ලබා දී පාසලක් ආරම්භ කිරීමට ආරාධනා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස හිගින්ස් මැතිනිය කටු මැටි ගැසූ, පොල් අතු සෙවිලි කළ, කුටි දෙකකින් යුතු කුඩා පැලක 1891 වසරේ බාලිකාවන් 12 දෙනකුගෙන් “මියුසියස් පාඨශාලාව හා අනාථ නිවාසය” නමින් නව බෞද්ධ පාසලක් ආරම්භ කළාය. අවම පහසුකම් යටතේ වුවත් හිගින්ස් මැතිනියට මෙම කටු මැටි පැල්පත “මඩ මාලිගයක්” විය. මේ අතර 1896 වසරේදී අහම්බෙන් පාසලට පැමිණි පරම විඥානාර්ථවාදී, ඕස්ට්‍රේලියානු ජාතික, විල්ටන් හැක් මහතා අංගසම්පූර්ණ පාසල් ගොඩනැගිල්ලක් ලබා දීමට වහාම පියවර ගත්තේය.
තම රට, ජාතිය, බුද්ධාගම පිළිබඳ සුවිශේෂී හැඟීමක් සිසුවියන් තුළ ඇති කරලීම අරමුණු කරගත් අප්‍රතිහත ධෛර්යයෙන් යුතු පින්වත් මියුසියස් මැතිනියගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් දිවයිනේ නන්දෙසින් දෙමාපියෝ තම දියණිවරුන් මියුසියස් සෙවණට එවීමට උත්සුක වූහ. ශිෂ්‍ය සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙද්දී 1897 වනවිට උසස් ගුරු විභාග මෙන්ම මැට්‍රිකියුලේෂන් විභාග සමත් සිසුවියෝ හිගින්ස් මැතිනියට සහය වෙමින් මේ පාසලේම සේවය කළහ. 1903 දී ‘ජිජි බෝයි’ ශිෂ්‍යත්වය දිනාගනිමින් ලුසී ද ආබෘ මෙනෙවිය ප්‍රථම ශ්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍යාව වීමේ වරම් ලැබුවාය. හිගින්ස් මැතිනිය තම දර්ශනය ඉදිරියට ගෙන යනු වස් 1908 දී මියුසියස් ගුරු අභ්‍යාස විද්‍යාලය ද පිහිටුවන ලදී. ලාංකික දැරියන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙනු වස් එතුමිය මියුසියස් දැරියන් අධ්‍යාපනයෙන් මෙන්ම ගුණ දහමින් ද පෝෂණය කළාය. එතුමිය ලංකා ඉතිහාස කතාත් බෞද්ධ පොත පතත් මියුසියස් දැරියන්ට හුරු පුරුදු කළාය. බෞද්ධ පිළිවෙත්, බොදු හෙළ ඇඳුම් හා සිංහල නම් භාවිතය මියුසියස් දැරියන්ට හුරු කරවූවාය. මෙලෙස 37 වසරක් පුරා සිය බෝධිසත්ව පාරමිතාව මල්ඵල ගන්වමින් නිස්සරණාධ්‍යාසයෙන් සිංහල බෞද්ධ බාලිකා අධ්‍යාපනයට ස්වර්ණමය සේවයක් සැලසූ මියුසියස් බාලිකාවන්ගේ ආදරණීය “සුදු අම්මා” මරී මියුසියස් හිගින්ස් මැතිනිය 1926 ජූලි මස 10 වැනිදා මියුසියස් විදු බිමේදීම මෙලොවින් සමු ගත්තාය.
අද දවසේදී මියුසියස් විද්‍යාලය බාලිකාවන් 6500 කට අධික ප්‍රමාණයකට අධ්‍යාපන සෙවණ සලසන විදු බිමකි. දේශීය විෂය ධාරාවෙන් මෙන්ම බ්‍රිතාන්‍ය විෂය ධාරාවෙන් ද මියුසියස් ශිෂ්‍යාවෝ අධ්‍යාපනය හදාරති. මෙම විෂය ධාරා දෙකටම ඉතා සාර්ථක ලෙසින් මුහුණ දෙමින්, දේශීය මෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණයන්ගෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන සහ ශිෂ්‍යත්ව ලබා ගැනීමට තරම් ඔවුන්ගේ අධ්‍යාපනික දැනුම පුළුල් ය. අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩා, නිර්මාණශීලී කුසලතාවන්ට සහ සෞන්දර්ය කුසලතාවන්ට ද මියුසියස් දැරියන් දක්වන දක්ෂතාව, ඔවුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දක්වන දස්කම්වලින් කැපී පෙනේ.
372ක ප්‍රවීණ ගුරු මණ්ඩලයකින් සැදුනු මෙම ආයතනයේ, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ ශිෂ්‍ය පිරිස සමග කැටි වූ කල, “මියුසියස් ප්‍රජාව”, කුඩා ගම්මානයක් හා සමාන යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එමෙන්ම පීටර් ද ආබ්‍රෙව් මැතිතුමන් විසින් අක්කර කාලක පමණ ඉඩම් වපසරියක, කුඩා මැටි නිවසකින් අරඹන ලද මියුසියස් විද්‍යාලය, වර්තමානය වනවිට අක්කර පහක් පුරා, විසිරී පවතින අති නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත ශ්‍රවණාගාරයක්, පිහිනුම් තටාක සහිත අති නවීන ක්‍රීඩා අංගෝපාංගවලින් සමන්විත ක්‍රීඩා සංකීර්ණයක් සහ අහස උසට ඉදි වූ ගොඩනැගිලිවලින් පරිපූර්ණ විද්‍යාලයක් බවට පරිවර්තනය වී තිබීම දැයට අභිමානයකි. එදා පීටර් ද ආබ්‍රෙව් මැතිතුමන්ගේ කළමනාකාරීත්වයෙන් යුක්ත වූ භාරකාර මණ්ඩලයේ වත්මන් සභාපති අජිත ද සොයිසා මැතිතුමා ප්‍රමුඛ භාරකාර මණ්ඩලයේ අනෙකුත් සත් සාමාජිකයෝ විද්‍යාලයේ අභිවෘද්ධියට ඔවුන්ගේ දායකත්වය නොඅඩුව සපයති.
2020 මාර්තු මැද භාගයේදී කොවිඩ්-19 වසංගතය අප දිවයිනට පැමිණීම සහ එහි ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග මෙතෙක් පාසල්වල පැවති සුමට ක්‍රියාකාරීත්වයට එය බාධාවක් ඇති කළ අතර, අපගේ ජීවන රටාව ආදී සියල්ලම මේ නිසා අඩාළ විය. නමුත් අප පාසලේ දූරදර්ශී කළමනාකාරීත්වය, මෙම පෙර නොවූ විරූ භයානක සිදුවීම වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත් කර ගත්තේය. සුහුරු පුවරු (Smart board) ලබා දී එය පරිහරණය කරන ආකාරය පිළිබඳව ගුරුවරුන්ට පුහුණුව ලබා දීමෙන්, ඉගැන්වීම සහ ඉගෙනීම ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ අතර, එය වර්තමානයේ ද මැනැවින් ක්‍රියාත්මක වේ. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ තෝරා ගත් කණ්ඩායමකට මෙම ක්ෂේත්‍රය පිළිබඳ පුහුණුව ලබා දී තිබූ අතර කොවිඩ්-19 කාලයේදී ඉගැන්වීම, ඉගෙනීම සහ විභාග පරීක්ෂණ සිදු කිරීම සඳහා මාර්ගගත අධ්‍යාපන ක්‍රමය භාවිත කිරීමෙන් මෙම අභියෝගය ජය ගැනීමට ඔවුහු හොඳින් සූදානම්ව සිටියහ. කොවිඩ්-19 ශීඝ්‍ර ව්‍යාප්තියෙන් රට වසා දැමීමට රජය ක්‍රියාත්මක වුවත් මියුසියස් ගුරුවරු මාර්ගගත ක්‍රමයෙන් දැරියන්ට අධ්‍යාපනය ලබා දීමට අත්‍යවශ්‍ය තාක්‍ෂණික දැනුමෙන් සන්නද්ධ වූහ. මේ කාලය තුළ මියුසියස් විද්‍යාලය විසින් ඔවුන්ගේ ඩිජිටල් වේදිකාව ලෙස MSTeams මෘදුකාංගය දියත් කරන ලදී. මේ සමඟ මියුසියස් විද්‍යාලය රටේ අනෙකුත් පාසල්වලට පුරෝගාමී සහ ආදර්ශ පාසලක් බවට පත් වූයේ ළදරු අංශයේ පන්තිවල සිට උසස් පෙළ පන්ති දක්වා ව්‍යුහාත්මක හා විධිමත් ඉගැන්වීම් සැලැස්මක් ක්‍රියාත්මක කරමිනි.
විවිධ කාල පරිච්ඡේදවල නිරන්තරයෙන් රට අගුළු දැමීමේ ක්‍රියාවලිය අපගේ වේගවත් ගමන් මග සීමා කළ නමුත් මාර්ගගත ක්‍රමය හරහා විෂය බාහිර ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා පුහුණුව දිගටම කරගෙන යාමට සංවිධානය විය. වර්තමානයේ පාසල තුළ ක්‍රියාකාරී වන සමිති සමාගම්, මාර්ගගත ක්‍රමයට, පාසල තුළ සහ අන්තර් පාසල් තරග සංවිධානය කර ඇත. මේ අතරින් විශේෂත්වය වූයේ 'Drive Thru Prize Giving' වශයෙන් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අතිසාර්ථකව පැවැත්වීමයි.
මෙසේ මියුසියස් විද්‍යාලය, තමන්ට එල්ල වන සියලු අභියෝගයන්ට අභියෝගයක් වෙමින්, දැඩි අධිෂ්ඨානයෙන්, කිසිදු පැකිලීමකින් තොරව සියල්ලට අභීතව මුහුණ දෙමින් මියුසියස් මැතිනියගෙන් පසුව පැමිණි විදුහල්පතිනියන්ගේත්, භාරකාර මණ්ඩලයේත් උතුම් ප්‍රාර්ථනාවන් සාක්ෂාත් කරගැනීමෙහිලා අප්‍රතිහතව කටයුතු කරමින් සිටියි.
මියුසියස් විද්‍යාලය සිය 130 වැනි වසරට පා තබන මොහොතේ භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා මහතා 'Heart to Heart Foundation' වෙත මුදල් පරිත්‍යාග කිරීමේ මානුෂීය මෙහෙවරක් යෝජනා කළේය. මෙම භාරකාර අරමුදල, හෘද රෝගවලට ගොදුරු වූ රෝගීන්ට සැනසීම ලබා දීම සඳහා පිහිටුවා ඇත. ඉතා හදිසි හෘද සැත්කම් සහ බොහෝ විට ජීවිතයට තර්ජනයක් වන හෘද සැත්කම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට නොහැකිව රජයේ රෝහල්වල ‘පොරොත්තු ලේඛනවල’ දිගු කලක් බලා සිටින, විවිධ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන, පවුලක එකම ප්‍රධාන ආදායම්ලාභියා මෙම භාරකාර අරමුදලෙන් හෘද සැත්කම සඳහා මුදල් ප්‍රතිපාදන ලාභියා වෙයි.
මියුසියස් බාලිකාවෝ මෙම සද් කාර්යය සඳහා දායකත්වය සපයනුයේ කිසිවකුගේ බල කිරීමකින් තොරව ස්ව කැමැත්තෙන් කැටයකට මුදල් එකතු කිරීම මගිනි. ඔවුන්ගේ නෑදෑයන්, අසල්වාසීන් සහ හිත මිතුරන්ගෙන් ලැබෙන ආධාර කැටයකට පුරවා ලබාදී තමන් මෙම අරමුදලට මූල්‍ය දායකත්වය ඉසිලීමේ ක්‍රියාවට උර දීමට ඔවුහු සැදී පැහැදී සිටිති.
මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගැනීමෙන්, අද සමාජයට අත්‍යවශ්‍ය ගුණාංගයන් වන අපගේ ශිෂ්‍යාවන් තුළ මනුෂ්‍යත්වය කෙරෙහි අනුකම්පාව සහ සහකම්පනය ඇති කළ හැකි බව අපි විශ්වාස කරමු. මියුසියස් විද්‍යාලය වසර 130ක දීර්ඝ අභිමානවත් ගමනේ තවත් සන්ධිස්ථානයකට ළඟා වෙද්දී, අපගේ පුරෝගාමීන් තුළ වූ ප්‍රසාදනීය දැක්ම සහ උරුමය අනාගතයට ගෙන යාමට අපි ප්‍රතිඥා දෙමු.
නෙළුම් සේනාධීර
විදුහල්පතිනිය