ලෝක ආහාර දිනය සමරන මේ මොහොතේ ආහාර ලබාගැනීම පමණක් නොව, අප ලබාගන්නා ආහාරයේ ආරක්ෂාව, ගුණාත්මකභාවය, පෝෂණීය වටිනාකම සහ එය අපගේ සෞඛ්යයට ඇතිකරන දිගුකාලීන බලපෑම පිළිබඳවද සමාජයක් ලෙස අවධානය යොමු කිරීම අත්යාවශ්ය වේ.
වර්තමානයේ ලංකාවේ බෝ නොවන රෝග මහජන සෞඛ්යයට දැඩි අභියෝගයක් වී තිබේ. අධි රුධිර පීඩනය, හෘද හා රුධිර නාල ආශ්රිත රෝග, දියවැඩියාව සහ අධික බර/තරබාරුකම වැනි තත්ත්වයන් සඳහා අපගේ ආහාර රටාව, ශාරීරික ක්රියාකාරකම් සහ ජීවන රටාව සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. එබැවින් “ආහාරය යනු කුසගින්න නිවා ගැනීමක් පමණක් නොව, සෞඛ්යය ගොඩනගන මූලික සාධකයකි” යන අවබෝධය සෑම පවුලකටම ගෙන යා යුතුය.
තෙල් තෝරාගැනීමේදී ප්රමිතියට මුල්තැන දෙමු
මේදය සහ තෙල් ශරීරයට අවශ්ය පෝෂක සංඝටක වන නමුත්, ඒවා නිසි ප්රමාණයෙන් සහ සුදුසු මූලාශ්රවලින් ලබාගැනීම වැදගත්ය.
පොල්තෙල්, වෙනත් එළවළු තෙල් සහ ඔලිව් තෙල් ඇතුළු විවිධ තෙල් වර්ග භාවිතයේදී ඒවායේ ගුණාත්මකභාවය, නිෂ්පාදන තොරතුරු, කල් ඉකුත්වීම සහ නිසි ලෙස ගබඩා කර තිබේද යන්න පිළිබඳව පාරිභෝගිකයා සැලකිලිමත් විය යුතුය.
විශේෂයෙන් එකම තෙල් නැවත නැවත අධික උෂ්ණත්වයට ලක්කරමින් බැදීම, තෙල් අධික ලෙස භාවිත කිරීම සහ අධික මේද සහිත ක්ෂණික ආහාර නිරන්තරයෙන් පරිභෝජනය කිරීමෙන් වැළකීම වැදගත්ය.
ආපන ශාලාවක් තෝරාගැනීමේදී රසයට වඩා සෞඛ්යයට මුල්තැන දෙමු
අද වන විට බොහෝදෙනාගේ දෛනික ජීවන රටාවත් සමග ආපන ශාලා සහ පිසූ ආහාර මත යැපීම ඉහළ ගොස් ඇත.
එබැවින් ආහාර මිලදී ගැනීමේදී,
ආහාර පිසින ස්ථානයේ පිරිසුදුකම,
ආහාර හසුරුවන සේවකයන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව,
පිරිසිදු ජලය භාවිතය,
අමුද්රව්යවල ගුණාත්මකභාවය,
අමු සහ පිසූ ආහාර වෙන්කර තබා ගැනීම,
ආහාර නිසි උෂ්ණත්වයේ ගබඩා කිරීම,
මැස්සන්, කැරපොත්තන්, මීයන් වැනි පළිබෝධකයන්ගෙන් ආරක්ෂාව
වැනි කරුණු පිළිබඳව පාරිභෝගිකයාද අවධානය යොමු කළ යුතුය.
යම් ආහාර අලෙවි ස්ථානයක මහජන සෞඛ්යයට අහිතකර තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳව අදාළ ප්රදේශයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයා (PHI) හෝ සෞඛ්ය වෛද්ය නිලධාරීවරයා (MOH) දැනුවත් කිරීමද පුරවැසි වගකීමකි.
පැකට් ආහාර මිලදී ගැනීමේදී ලේබලය කියවමු
විශේෂයෙන් දරුවන් සඳහා ආහාර මිලදී ගැනීමේදී ආහාර පැකට්ටුවේ ඉදිරිපස ඇති වෙළෙඳ නාමය පමණක් නොව, පසුපස ඇති ලේබලයද කියවීමේ පුරුද්දක් ඇති කරගත යුතුය.
අමුද්රව්ය ලැයිස්තුව, ආහාර ආකලන (Food Additives), වර්ණක, රසකාරක, කල්තබා ගැනීමේ ද්රව්ය, සීනි, ලුණු, මේද ප්රමාණය, නිෂ්පාදන දිනය, කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදකයාගේ තොරතුරු පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
විශේෂයෙන් කුඩා දරුවන් සඳහා නිෂ්පාදනය කරන ආහාර සම්බන්ධයෙන් වයස් සීමා සහ ලේබලයේ ඇති විශේෂ උපදෙස් නොසලකා හැරීමෙන් වැළකිය යුතුය.
“E-number” හෝ “INS number” එකක් තිබීම පමණින් එම ආහාරය අනාරක්ෂිත යැයි හෝ ආරක්ෂිත යැයි තීරණය කළ නොහැක. අදාළ ආහාරයට අදාළ නීතිමය අවසරය, භාවිත මට්ටම සහ ලේබල් කිරීමේ අවශ්යතා සැලකිල්ලට ගත යුතුය.
අවසානයේ තීරණය අපගේ අතේ
අද අප ගන්නා ආහාර තීරණය කරන්නේ අද දවසේ කුසගින්න පමණක් නොව, අපගේ හෙට දවසේ සෞඛ්යයයි..
එබැවින් ලෝක ආහාර දිනයේදී අප සියලුදෙනාම,
ප්රමිතියෙන් යුතු ආහාර තෝරා ගනිමු.
ලේබලය කියවමු.
ලුණු, සීනි සහ අධික මේදය සීමා කරමු.
පිරිසුදු හා සනීපාරක්ෂිත ආහාර පරිසරයක් ඉල්ලා සිටිමු.
දරුවන්ට සෞඛ්ය සම්පන්න ආහාර පුරුදු හුරු කරමු.
ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අපගේ වගකීම ඉටුකරමු.
මන්ද, නිරෝගී ජාතියක් බිහිකිරීම රෝහලෙන් ආරම්භ වන දෙයක් නොව, අපගේ ආහාර පිඟානෙන් ආරම්භ වන්නකි.
අදහස් දැක්වීම - මහජන සෞඛ්ය පරීක්ෂක, සදුන් හේමන්ත රත්නායක මහතා
සටහන - පියුමිකා වීරසූරිය (I J)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd